Home » විල්ගමුව පොලිසියේ ගේට්ටුවේ සිටි PCගේ ටී-56 පැහැරගෙන

විල්ගමුව පොලිසියේ ගේට්ටුවේ සිටි PCගේ ටී-56 පැහැරගෙන

by sachintha
March 27, 2024 12:50 am 0 comment

ලග්ගල පොලිසියේ ගිනිඅවි සොරකමේදීත් ගේට්ටුවේ සිටියෙත් මොහුයි

විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා සතුව තිබුණු ටී – 56 අවිය ඊයේ (26) අලුයම් කාලයේදී පැහැරගෙන ගොස් ඇත්තේ කහ පැහැති බැනියමක් සහ කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයකු විසින් බවට සැක කරන තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

ගිනි අවිය පැහැරගත් පුද්ගලයා කහ පැහැති බැනියමක් සහ කොට කලිසමක් ඇඳ සිටි අයකු බව පොලිසියේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා පවසා ඇත.

ඒ අනුව එම පුද්ගලයා ගිනි අවිය පැහැරගෙන පලා ගියේ යැයි කියන මාර්ගය දෙපස පිහිටි නිවාස හා ව්‍යාපාරික ස්ථානවල සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන පොලිසිය පරික්ෂා කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ එම ගිනි අවිය පැහැරගත් බව කියන කාලය තුළ කහ පැහැති බැනියමක් සහ කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයකු මාර්ගයේ දිව යන අයුරුය. ඒ අනුව ගිනි අවිය පැහැරගෙන ඇත්තේ එම පුද්ගලයා බවට සැකයක් මතු වී තිබේ.

විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ පෙරේදා (25) රාත්‍රී කාලයේ රාජකාරියේ යොදවා සිට ඇත්තේ පොලිස් කොස්තාපල් රුවන් (96464) නමැති නිලධාරියාය. 3612398 අංකය දරන ටී-56 අවිය සහ පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් මෙම නිලධාරියාට අවි ගබඩාවෙන් එදින නිකුත් කර තිබී ඇත. ගිනි අවිය සමඟ ඔහු ප්‍රධාන මුරකුටියේ රාජකාරියේ යෙදී සිටියදී මධ්‍යම රාත්‍රී 12.45ට පමණ පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානය තුළට ගිනි අවිය පැහැර ගත්තේ යැයි කෑගසාගෙන පැමිණ ඇති බව සඳහන්ය. එම කෑමොර හඬින් පොලිසියේ ඒ වන විට රාත්‍රී රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් ගොස් පරික්ෂා කර ඇති බවත් ඒ වන විටත් ගිනි අවිය රැගෙන ගියේ යැයි කියන පුද්ගලයා සොයා ගැනීමට ළඟපාතකවත් සිට නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම ගිනි අවිය පැහැරගන්නා විට ගිනි අවිය පසෙක තබා තමා අසුන්ගෙන සිටි බව පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත. උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ මෙම නිලධාරියා ඒ වන විට නිදාගෙන සිටියේ දැයි සැකයක් මතු වන බවය.

2016 වසරේ අප්‍රේල් 14 වැනිදා අලුත් අවුරුදු දින මහ රෑ මාතලේ පොලිස් කොට්ඨාසයට අයත් ලග්ගල පොලිස් ස්ථානයේ තිබුණු ටී-56 අවියක් සහ රිවෝල්වර 05ක් ද කිසියම් අයකු පොලිස් ස්ථානයේ අවි බහාලන පෙට්ටියෙන් සොරාගෙන ගොස් තිබිණි. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පැමිණ විමර්ශන කිරීමේදී සොරාගත් ගිනි අවි ලග්ගල පොලිස් වසමේම වැල්ලේවෙල, සඳගල විහාරස්ථානයේ ජල ටැංකිය අසල දමා ගොස් තිබියදී සොයාගෙන තිබිණි. අදටත් මෙම ගිනි අවි සොරා ගත්තේ කවුරුන්දැයි අනාවරණය වී නොතිබිණි. සොරකම පොලිසිය ඇතුළේම වැඩක් බවට සැකයක් ද එකල පැවතිණි.

එම සොරකම ලග්ගල පොලිසිය තුළ සිදුවන විට එම පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරතව සිට ඇත්තේ ද මෙම පොලිස් කොස්තාපල්වරයා බව අනාවරණය වී තිබේ.

එබැවින් මෙම ගිනි අවිය පැහැර ගැනීම ගැන පැති කිහිපයක් ඔස්සේ විමර්ශන පැවැත්වෙන බව මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා සඳහන් කළේය.

ගයාන් වීරසිංහ, මාතලේ මධ්‍යම සමූහ, සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT