Monday, May 20, 2024
Home » දිවයිනේ ගම්මාන 85ක් තැඹිලි වගාවට

දිවයිනේ ගම්මාන 85ක් තැඹිලි වගාවට

by chanaka
March 27, 2024 3:46 pm 0 comment

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇත.

මෙම ගම්මාන 85 තුළ මෙම වසරේ දී තැඹිලි පැළ 50,000ක් රෝපණය කිරීමට නියමිත අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම දාම්පේ ගම තෝරාගෙන තිබේ.

ඒ අනුව දාම්පේ ගමේ ගොවි පවුල් සියයකට තැඹිලි පැළ බෙදා දීම අද (27) දාම්පේ බෝධිවර්ධනාරාමයේ දී සිදු විය. පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මෙම වැඩ සටහන සංවිධාන කර තිබු අතර තැඹිලි පැළ බෙදාදීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ජනමාධ්‍ය හා ප්‍රවාහන කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

දාම්පේ ගම තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස නම් කිරීම හා ගොවි පවුල් වෙත පැළ බෙදාදීම අමාත්‍යවරුන් අතින් සිදු විය. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් හා සාමාන්‍යාධිකාරි අථිල විජේසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇතත්, මෙතෙක් ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අපේ රටේ වැවිලි බෝගයක් ලෙස මෙතෙක් තැඹිලි වගාව සිදු කර නැහැ. බොහෝ දෙනෙක් තැඹිලි වගා කරන්නේ තම ගෙවත්ත තුළයි. නමුත් තැඹිලි යනු අපේ රටට ආවේනික ශාකයක්. ලෝකයේ රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ. ඒ නිසා මුළු ලෝකයටම තැඹිලි අපනයනය කරන්න අපිට පුළුවන්. තැඹිලි වගාවක් ලෙස ව්‍යාප්ත කළහොත් අපේ රට තැඹිලිවලින් ම ගොඩ ගන්න පුළුවන්.

දැනට ඩුබායිවල අපේ රටේ තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. සාමාන්‍යයෙන් මාස හයකට තැඹිලි කන්ටේනර් 200ක් විතර ඩුබායි වෙළෙදපලට අපනයනය කරනවා. පසුගිය වසරේ තැඹිලි අපනයනයෙන් අපි ඉළක්ක කළ ආදායම රුපියල් බිලියන 06ක්. 2022 දී රුපියල් බිලියන 02ක ආදායමක් තැඹිලි අපනයනයෙන් අපි ලබා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.

මම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ දී තැඹිලි අපනයනය සඳහා අවස්ථා ගණනාවක දී විදේශ රටවල් සමග සාකච්ඡා කළා. අද විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් අපේ තැඹිලි සඳහා තිබෙනවා.

අද දාම්පේ ගම කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස අපි වගා කටයුතු ආරම්භ කරනවා. පවුල් 850ක් අපි තැඹිලි වගාව සඳහා තෝරාගෙන තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙන්ම අපේ කෘෂිකර්ම අමාත්‍ය තුමා මම කළ යෝජනාව අනුව වහාම ක්‍රියාත්මක වී තැඹිලි වගා කටයුතු ආරම්භ කිරීමට දායකත්වය ලබා දුන්නා.

අද ලබා දෙන තැඹිලිපැළ වගේම ඒවා වගා කළ යුතු ආකාරය පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT