Monday, May 20, 2024
Home » චීන-ශ්‍රී ලංකා ජල පර්යේෂණ මධ්‍යස්ථානය සිසු අයිතියට

චීන-ශ්‍රී ලංකා ජල පර්යේෂණ මධ්‍යස්ථානය සිසු අයිතියට

by sachintha
March 28, 2024 1:07 am 0 comment

චීන රජයේ රුපියල් කෝටි 400ක ඍජු මුදල් ප්‍රතිපාදන මත පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කළ ජලය හා සම්බන්ධ සියලු ජෛව හා නැනෝ තාක්ෂණ පර්යේෂණ පහසුකම් සහිත දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පෙරේදා (26) විවෘත කෙරිණි.

‘චීන ශ්‍රී ලංකා ජල පර්යේෂණ මධ්‍යස්ථානය’ ලෙස නම් කර තිබේ. ඊට වැය වූ මුදල චීන රජය ණයක් ලෙස නොව ප්‍රදානයක් ලෙස ලබා දී තිබීම විශේෂත්වයකි. ජලය සම්බන්ධ සියලු පර්යේෂණ කටයුතු මෙන්ම පස, වායු ගෝලය, පරිසර දූෂණය, සෞඛ්‍ය ගැටලු ඇතුළු පුළුල් පරාසයක විහිදුණු පර්යේෂණ කටයුතු සිදු කිරීමේ පහසුකම් නව මධ්‍යස්ථානය සතු බවත් විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව, උසස් පෙළ හදාරන සිසුන්ට, උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන්ට මෙන්ම විදෙස් සිසුන්ටද මෙහිදී අධ්‍යයන හා පර්යේෂණ කටයුතු කිරීමේ අවස්ථාව තිබෙන බවත් චීන ශ්‍රී ලංකා ජල පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය සුචිත්‍ර වේරගොඩ මහතා කීය. ජලය හා සම්බන්ධ සියලු ප්‍රශ්න හා ගැටලුවලට විද්‍යාත්මක පර්යේෂණ මඟින් පිළිතුරු දීමට මෙමඟින් හැකියාව ලැබෙන බවද ඒ මහතා පැවසීය.

චීන විද්‍යා ඇකඩමිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ප්‍රදානය කළ මේ ජල පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවට පමණක් නොව, දකුණු ආසියාවටම සේවා සපයන ප්‍රධාන ආයතනයක් බවත් මේ පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ජල සම්පාදන අමාත්‍යාංශය සුවිශේෂ මැදිහත් වීමක් සිදු කළ බවත් කී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා මෙමඟින් ජල පර්යේෂණ ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් අනිවාර්යයෙන්ම සිදු වන බවද පැවසුවේය.

ජල පර්යේෂණ ආයතනය විශ්වවිද්‍යාලයට නිල වශයෙන් පවරා දීමේ අවස්ථාවට චීනයේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයක් වන චීන විද්‍යා ඇකඩමියේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිංග් යැං, මහාචාර්ය යුවාන් සෝන් වේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහත්වරු සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT