Saturday, May 18, 2024
Home » අවුරුදු සමයේදී ආර්ථික ප්‍රසාරණයක් ඇති වෙනවා -මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

අවුරුදු සමයේදී ආර්ථික ප්‍රසාරණයක් ඇති වෙනවා -මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

by sachintha
April 1, 2024 3:20 am 0 comment

සාමකාමී පරිසරය සමාජයේ නව ඇරඹුමකට පදනම ගේනවා

ඉතිරි කිරීම් වැඩි වුණාම අ‍ායෝජන ඉහළ යනවා

සංචාරක ව්‍යාපාරයේ නව පිබිදීමක් තියෙනවා

අවුරුදු කාලයට ආර්ථිකය නගරයෙන් ගමට ව්‍යාප්ත වෙනවා

සංචාරක ව්‍යාපාරය නව ජීවයක් ලබාගෙන තියෙනවා

 

එළඹුණේ 2024 අප්‍රේල් මස හෙවත් බක් මාසයයි. බක් මාසය යනු හෙළයන්ගේ නැකැත් සැණකෙළි සමයයි. අපි ගෙවූ පසුගිය කාලච්ඡේදය රට ආර්ථික අවපාතයකට ලක්ව තිබුණ ද දැන් එය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. බක් මහා සැණකෙළිය වෙනුවෙන් සූදානම් වන මහ ජනතාවට විශේෂ ආර්ථික සහන සැලසේද? යන්න ආදී වූ කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති සහ සණස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් සමඟ කළ සාකච්ඡාව මෙසේ දිග හරින්නෙමු.

 

l සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. මෙවර රටේ මහජනයාට ආර්ථික සහන සැලසෙන හැඩක් තියෙනවාද?

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද රටේ නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය, සේවා නියුක්තිය, පරිසර සංරක්ෂණය, ඉතිරිකිරීම්, ආයෝජනය, ආණ්ඩුවේ ආදායම් ආදී සෑම අංශයකටම ලොකු බලපෑමක් කරනවා. නිෂ්පාදනය ගතහොත් අවුරුද්ද සඳහා නිෂ්පාදන කටයුතු ආරම්භ වන්නේ මීට මාසයකට, මාස කිහිපයකට පෙරයි. කෘෂිකර්මාන්තය ගතහොත් මාස් කන්නයේ (මහා) කෙළවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනවා. මහකන්නය ලෙස හැඳින්වෙන්නේ රට පුරාම, වගා කරන කාලයයි. මෙහිදී ගොඩ හා මඩ දෙකම වගා කරනවා.‍ ‍බොහෝ අය අලුත් අවුරැද්ද ඉලක්ක කොට ‍භෝග වගා කරනවා. ධාන්‍ය, එළවළු, පලතුරු ආදී සෑම දෙයක්ම මේ ඉලක්ක තුළ අන්තර්ගතයි.

මේ නිසා අලුත් අවුරුද්ද සමරන වකවානුව වන විට සහල්, මුං, උඳු, තල, මෙනේරි, කුරක්කන් ආදි සෑම ධාන්‍යයක් ම වාගේම බුලත්, පුවක් ආදි දේවල් ද, කෙසෙල් ආදී පලතුරු ද, උඩරට, පහතරට එළවළු ද යන සෑම දෙයකම අස්වැන්න වැඩිපුර ලැබෙනවා. සමස්ත නිෂ්පාදනය ද ඉහළ යනවා. ආදායම ද ඉහළ යනවා.

කෘෂි නිෂ්පාදන හැරුණු විට ඇඳුම්, ආයිත්තම්, ලී බඩු ආදී කල්පවත්නා පරිභෝජන භාණ්ඩ හැළි වළං ආදි ගේ දොර උපකරණ කල්තබා නිෂ්පාදනය කොට, හෝ ආනයනය කොට හෝ වෙළඳපොළට ගෙන එනවා. මේ නිසා වෙ‍ළෙඳපොළ බඩු භාණ්ඩ ආදියෙන් පිරී යනවා. රතිඤ්ඤා, මල්වෙඩි, අහස්කූරු, නිලා ආදී ගිනිකෙළි භාණ්ඩ අවුරුදු සමය ඉලක්ක කරගෙන මාස ගණනාවක් නිෂ්පාදනය කරනවා.

මීට අමතරව අවුරුද්ද ඉලක්ක කරගෙන ගෙවල් අලුත්වැඩියා කිරීම, නිවාසවලට අලුතින් කොටස් එකතු කිරීම, ආදී ඉදිකිරීම් කටයුතු ද කරනවා. මේ සෑම දෙයක්ම පසුපස විවිධාකාර යෙදවුම් වර්ග තියෙනවා. ඒවා අතර උළු, ගඩොල්, ඇස්බැස්ටෝස්, සිමෙන්ති, වැලි ගඩොල්, පයිප්ප ආදී දහසකුත් එකක් වෙනවා. මේ සියල්ල කොහේ ‍ හෝ නිෂ්පාදනය කොට වෙළඳපොළටත් එනවා.

l ආහාරපානවලට අමතරව අවුරුදු කාලයට නිමි ඇඳුම් වෙළඳපළට එනවා. මේවායේ මිල ගණන් සැලකිය යුතු මට්ටමක තියේවිද?

අවුරුද්ද මුල්කර ගෙන අලුත් ඇඳුම් ඇඳීම ඉතා සුවිශේෂ වූ කටයුත්තක්. මේ හේතු කරගෙන අවුරුද්ද වෙනුවෙන් ලොකු, කුඩා සෑම ඇඳුම් නිෂ්පාදකයෙක්ම විශාල ඇඳුම් ප්‍රමාණයක් නිපදවනවා. මේ නිසා ඇඳුම් නිෂ්පාදකයින්ටත් මේ කාලය ඉතා කාර්යබහුල වකවානුවක්. එහි සරල අදහස ඔවුන්ගේ සේවා නියුක්තිය හා ආදායම් ඉහළ යාමයි.

l රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදනවලටත් වැඩි ඉල්ලුමක් තියෙනවා නේද?

අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන රසකැවිලි නිෂ්පාදනය ද වැඩි කර තියෙනවා. ඒ අනුව විවිධාකාරයේ කේක්වර්ග, බිස්කට්, දොදොල් ආදිය නිෂ්පාදනය කරනවා. වර්තමානයේ සාම්ප්‍රදායික කැවුම්, මුංකැවුම්, ආස්මී, අග්ගලා, අලුවා, තලකැරලි ආදිය නිවාසවල නිෂ්පාදනය කරනවාට අමතරව විවිධ නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොළට‍ එවනවා. ඒ තුළද විශාල ආර්ථික බලපෑමක් තියෙනවා. සේවා නියුක්තිය, බෙදා හැරීම, ආදායම් ජනනයවීම ආදී බොහෝ ප්‍රවාහයන් ආර්ථිකය හරහා ගමන් කරනවා.

l ප්‍රවාහන අංශය සම්බන්ධව මහජනයාට සැලසෙන සහන මොනවාද?

ප්‍රවාහන කටයුතු ද අලුත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගෙන සංවර්ධනය වන අංශයක්.‍ රට පුරා නව නිපැයුම් ‍බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක වෙනවා. ඒවා අතර, බඩු භාණ්ඩ වශයෙන් සැලකෙන එදිනෙදා පරිහරණය කරන හා කල්පවත්නා භාණ්ඩ ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. ඒ හැරුණු විට සේවාවන් බෙදා හැරීම ද පුළුල්ව දැකිය හැකිය. මඟී ප්‍රවාහනය බැංකු හා මූල්‍ය කටයුතුවල සේවාවන්, තැපැල්, ගුවන්විදුලිය, රූපවාහිනි විද්‍යුත් මෙන්ම පුවත්පත් සඟරා ආදියද මේ හිඟය ඉලක්ක කර නව නිපැයුම් සිදු කරනවා.

විශේෂයෙන්ම මඟී ප්‍රවාහනය සුවිශේෂත්වයක් ගනු ලබනවා. පොදු ප්‍රවාහන සේවය මෙන්ම ලොකු, කුඩා පුද්ගලික වාහන භාවිතයෙන්ද මඟී ප්‍රවාහන කටයුතු සමන්විතයි. එමඟින් ආර්ථිකයට පුළුල් බලපෑමක් කරනවා. මාර්ගවල ගමන් කරන ඇත්තෝ විවිධ වෙළෙඳ‍සල්වලින් බඩු භාණ්ඩ ගන්නා අතරම ආහාරපාන පරිභෝජනය කරනවා. මෙයින් ප්‍රාදේශීයව මෙන්ම ජාතික වශයෙන් ද ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙනවා.

අලුත් අවුරුදු වකවානුව තුළ ආර්ථිකයේ කටයුතු නගරයෙන් ගමට ව්‍යාප්ත වෙනවා. බොහෝ යානවාහන, පුද්ගලයන්, අවුරුදු වකවානුවේ කොළඹ ආදී ප්‍රදේශවලින් ඈත්ව තම තමන්ගේ ගම්බිම්වලට යෑම චාරිත්‍රයක්. මේ නිසා කොළඹ හා නගර කේන්ද්‍ර කරගෙන තිබූ ආර්ථිකය ගම්බද ප්‍රදේශවලට ව්‍යාප්ත වෙනවා. මේ හැරුණු විට නුවරඑළිය ආදී විශේෂිත ස්ථානද, විවිධාකාරයේ නැවැතුම්පොළ හා හෝටල්වලට තිබෙන ඉල්ලුමද ඉහළ යනවා. ඒ තුළ නගරයෙන් බැහැර ආර්ථිකය නවජීවයක් ලබනවා.

පරිභෝජනය ගත් කල්හි හිඟතාවන් බහුලතාවයක් මේ යුගයේ දැකිය හැකි වෙනවා. රට පුරාම පාහේ අලුත් ඇඳුම් ඇඳගෙන සතුටින් කන, බොන විනෝද වෙන යුගයක් දැකගන්න පුළුවන්. පරිභෝජන ඉල්ලුම ඉහළයෑම සමස්ත ආර්ථිකයේ නිෂ්පාදනය ආයෝජනය, සේවා නියුක්තිය ආදී බොහෝ අංශවලට ධනාත්මක බලපෑමක් කරනවා.

l මහජනයාට බදුවලින් සහනයක් සැලසෙන්නේ කවදාද?

ආණ්ඩුව, වෙළෙඳපොළ, හරහා සිදුවන ගනුදෙනුවලින් විවිධාකාරයේ බදු අය කර ගන්න තත්ත්වයක් තියෙනවා. මේ යුගය තුළ පෙරට වඩා භාණ්ඩ හා සේවය‍ට මිලට ගැනීම් වැඩි නිසා, ආණ්ඩුවේ ආදායම් ද ඉහළ ගිහින්. විශේෂයෙන්ම සදාචාරයට පටහැණි වුවත් විශාල මත්පැන් තොගයක් මේ කාලය තුළ අලෙවි වෙයි. ඒ තුළින් රජයට විශාල බදු ආදායමක් ලැබෙනවා.

l සෞඛ්‍ය පුරුදු පිළිබඳව විශේෂයෙන් මේ කාලයේ අවධානය යොමු වෙනවා නේද?

අලුත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගෙන පරිසරය පවිත්‍ර කිරීමද සුවිශේෂ වූ කාර්යයක්. රටක් තුළ නීරෝගිමත් ජනතාවක් බිහි කිරීමට එය හේතු වෙනවා. තම තමන්ගේ ගෙවල් අසල කුණු කසළ අතුරු පාරවල්වල තිබූ කුණු කසළ ආදී බොහෝමයක් මේ දිනවල ඉවත් කරනවා. ගෙවල් අවට මෙන්ම අභ්‍යන්තරයේ ද පිරිසුදු කිරීමට ඉතා ඉහළ ප්‍රමුඛත්වයක් දෙනවා. ඒ තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සැමදෙනාටත් ඉඩකඩ විවෘත වෙනවා.

l ජනතාවගේ සන්තුෂ්ටිය හා ආර්ථික කාරණා අතර සබඳතාවය පෙන්වා දෙන්න.

අලුත් අවුරුද්ද තුළ සතුට, සාමය, සමාදානය ප්‍රවර්ධනය කිරීමට සියලු දෙනාම කටයුතු කරනවා. එය එක් ආගමකට, ජාතියකට සීමා නොවූවක් ලෙස දකින්න පුළුවන්.

වැරැදි අමතක කිරීම, සිදු වූ වැරැදිවලට සමාව දීම, සාමකාමී පරිසරය සමාජයේ නව ඇරඹුමකට පදනම දමනවා. මේ නිසා අවුරුද්දෙන් පසුව ස්වයංරැකියා කරන්නෝ මෙන්ම කාර්යාල, කර්මාන්ත පාසල්, බැංකු ආදියේ සේවය කරන ඇත්තෝ ද නව උද්‍යෝගයකින් නව ඉලක්ක තබාගෙන තම තමන්ගේ කටයුතු ආරම්භ කරනවා. මෙය ආර්ථිකයේ කටයුතු මැනැවින් ක්‍රියාත්මක කිරීමට උපකාරී වෙනවා.

එළඹෙන අවුරුද්ද නිසාවෙන් ඉතිරිකිරීමටද පෙලඹීමක් ඇති වෙනවා. වැඩ අල්ලා ගනුදෙනු කිරීම යටතේ සමහර අය තමන්ට ලැබෙන මුදල් මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමට පෙලඹෙනවා. සමහර මූල්‍ය ආයතන අලුත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගෙන විශේෂයෙන් වැඩකරන දින ප්‍රකාශයට පත්කරනවා. තෑගිභෝග ලබාදෙන බවත් පවසනවා.

මේ නිසා ඉතිරි කිරීම් ඉහළ යනවා. ඒ නිසා එය ආර්ථිකයට යහපතක්.

ඉතිරි කිරීම් වැඩි වූ කල්හි ආයෝජනය ඉහළ යනවා.

අලුත් අවුරුදු උත්සව මඟින් මානව කුසලතා ඉහළ නැංවෙනවා. පාපැදි සවාරි, ගම හරහා දිවීම, සහ නොයෙකුත් සාම්ප්‍රදායික කාරණා , නැටුම්, ගැයුම්, වැයුම් ආදිය කාලයත් සමඟ අහෝසිවන දේශීය අනන්‍යතාවය ප්‍රදර්ශනය කරන කටයුතු සංරක්ෂණය කිරීමේ එක්තරා අප්‍රකාශිත සාමූහික උත්සාහයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරය නැවත වතාවක් නව ජීවයක් ලබාගෙන තියෙනවා.

මෙරටට එන සමහර සංචාරකයින් අලුත් අවුරුදු උත්සවවලට සම්බන්ධ වීමත්, හෝටල්වල හා ඇතැම් ගෙවල්වල පැවැත්වෙන අවුරුදු චාරිත්‍රවලටත් සම්බන්ධ වීම දකින්න පුළුවන්. ලෝකයේ කිසිම රටක නැති ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීම මේ කාලය ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන්. එය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, අවුරුද්ද හා බැඳුණු සුවිශේෂ චාරිත්‍ර වාරිත්‍ර ආදිය පිළිබඳ ලෝක ජනතාවට අවබෝධයක් ලබාදීමටත් ඉඩප්‍රස්ථාවක්. මෙය දේශීය සංස්කෘතිය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට ල‍ැබෙන මහඟු අවස්ථාවක්.

බක්මහ කේන්ද්‍ර කරගෙන මංගල උත්සව බොහොමයක් රට පුරා, දකින්න පුළුවන්. එකී උත්සව කේන්ද්‍ර කරගෙන නිෂ්පාදනය, ආයෝජනය, පරිභෝජනය ආදී බොහෝ ආර්ථික කටයුතු සිද්ධ වෙනවා. ඒවා ආර්ථිකයට ඍජුවම බලපෑම් ඇති කරනවා. කොවිඩ් වසංගතයේ සිට එක දිගටම මෙරට ආර්ථිකයට එල්ලවූ බලපෑම දේශීය හා විදේශීය අර්බුද අසමඟිකම් බොහෝදුරට දැන් සමනය වෙමින් පවතිනවා. එසේම ආර්ථිකය හැකිළීමේ සිට ප්‍රසාරණය සඳහා මූලික අඩිතාලම දමා තියෙනවා. අලුත් අවුරුද්ද හරහා තවදුරටත් මෙය ඉදිරියට ගෙනයෑමට ඉඩ අවස්ථාවන් විවෘත වෙනවා.

එය නව අවුරුදු බලාපොරොත්තුවක් ලෙස තබා ගත්තාට වරදක් නැත. එකී බලාපොරොත්තුව සඵල කිරීම සඳහා සැමගේම සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍යයි.

ජයසිරි මුණසිංහ

ජායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT