Saturday, May 18, 2024
Home » ගෙදර නවතා තිබූ සුපිරි රිය උදේ බලද්දී ගින්නෙන් විනාශයි

ගෙදර නවතා තිබූ සුපිරි රිය උදේ බලද්දී ගින්නෙන් විනාශයි

by sachintha
April 1, 2024 2:48 am 0 comment

සැකකරුගේ වැඩකිඩ CCTV කැමරාවේ

පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (31) අලුයම අභිරහස් ලෙස ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

පිළියන්දල, ගෝනමඩිත්ත පාර, මඩපාත, බටකැත්තර ප්‍රදේශයේ පදිංචි නාමල් කෝලිත සමරවික්‍රම යන අයට අයත් බව පැවසෙන හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයක් මෙසේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මෝටර් රථය ගිනි ගන්නා අවස්ථාවේදී නිවෙසියන් නින්දේ සිට ඇති අතර, අලුයම කාලයේ නිවෙස ඉදිරිපිටට පැමිණි නිවෙසේ හිමිකරු දැක ඇත්තේ සිය මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇති බවයි. ඒ අනුව අවට විපරම් කර බැලීමේදී පෙර දින රාත්‍රියේ අගුළු දමා වසා දමා තිබූ නිවෙස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව මදක් විවෘතව තිබෙනු දැක සැක සිතී, ආරක්ෂිත කැමරා පරීක්ෂා කර බැලීමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු තාප්පයෙන් පැන මෝටර් රථයට ගිනි තබා ගේට්ටුව විවෘත කරගෙන පිටතට ගොස් යතුරුපැදියෙන් පලා යන අයුරු නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර, ස්ථානීය පරීක්ෂණය සඳහා ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම ගිනි තැබීමෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. එමෙන්ම නිවෙසේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති බවත්, නිවෙසියන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බවත් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට ද නියමිතය. සිද්ධියට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වති.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT