Home » නීති අධ්‍යාපනයේ ප්‍රශස්ත වෙනසක් විය යුතුයි – අධිකරණ ඇමති

නීති අධ්‍යාපනයේ ප්‍රශස්ත වෙනසක් විය යුතුයි – අධිකරණ ඇමති

by chanaka
April 3, 2024 2:43 pm 0 comment

අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම නීති අධ්‍යාපනයේත් ප්‍රශස්ත වෙනසක් සිදු කළ යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ වර්තමාන නීති ප්‍රතිසංස්කරණ පිළිබදව නීති විද්‍යාල සිසුන් දැනුවත් කිරීම පැවති විශේෂ දේශනයක් සදහා අද (03) කොළඹ 12, නීති විද්‍යාල පරිශ්‍රයේදී එක්වෙමිනි.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය වෙනස්වීමට නම් මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. විශේෂයෙන් දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුව මන්ත්‍රිවරයෙකුවීමට නම් විශාල වශයෙන් මුදල් වැය කළ යුතුයි. ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණවලින් පසුව අනිවාර්යෙන්ම මැතිවරණ ක්‍රමයේ වෙනසකට යා යුතු වෙනවා. ඒ සදහා දේශපාලන පක්ෂ නායකයින් සාකච්ඡා කළ යුතුයි. නව මැතිවරණ ක්‍රමය තුළින් ඡන්ද කොට්ඨාශයට වග කියන මන්ත්‍රිවරයෙකු පත් කර ගත යුතුයි. සුළු දේශපාලන පක්ෂවලට අසාධාරණයක් නොවන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ සියයකට අධික නීති සංඛ්‍යාවක් සංශෝධනය කලා. ඒවායෙහි ප්‍රතිලාභයන් ඉදිරියේදී ලැබෙන බව මෙහිදී අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම , අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීම, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ගෙනාවා සේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී සෙනෙට් සභාවක් පත් කිරීමේ වැදගත්කම පිළිබදව ද අමාත්‍යතුමා මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී.

දක්ෂ වෘත්තිය නීතිඥයෙකු වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම, නීති ශිෂයෙකු ලෙස වර්තමාන දේශපාලන සමාජ තත්වයන් පිළිබදව යාවත්කාලීන වීම පිළිබදව අමාත්‍යතුමා සිය දේශනය තුළ අවධාරණය කළේය.
නීති විද්‍යාල ප්‍රවේශය සදහා දැනට අය කරන ගාස්තු පිළිබදව මෙහිදී නීති ශිෂයෙකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර, ඒ සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යතුමා මෙසේ මෙසේ පැවසීය.
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු පිළිබදව අපි සාකච්ඡා කළා. විශේෂයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය 1900 හදුන්වා දුන් පනත අනුව තවමත් ක්‍රියාත්මක වෙන්නේ. මුලින් මෙම විද්‍යාලය ඇති කර තිබෙන්නේ සිසුන් සියයකට පමණයි. දැන් හත් දහසක පමණ සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතු සදහා ලියාපදිංචිව සිටිනවා. මේ රටේ පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල නඩත්තුව සදහා රජයෙන් මුදල් වෙන් කරනු ලබනවා. එහෙත් නීති විද්‍යාලයේ කටයුතු සදහා රජය මුදල් වෙන් කරන්නේ නැහැ. එහි කටයුතු සිදු කරන්නේ නීති විද්‍යාල විභාගවලට අය කරනු ලබන මුදල් මගින් පමණයි. නීති විද්‍යාලය වෘත්තිය පුහුණු ආයතනයක් විය යුතුයි. නීති විද්‍යාල අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. නීති අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සදහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. එම තේරීම් කාරක සභාවට මේ දිනවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ඒ සදහා අදහස් හා යෝජනා නීති ශිෂ්‍යයින්ට ලබා දිය හැකියි. අධ්‍යාපන ක්‍රමය මෙන්ම නීති අධ්‍යාපනයේත් ප්‍රශස්ත වෙනසක් සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක, නීති විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද රත්නසේකර යන මහත්වරුන් ඇතුළු නීති විද්‍යාල සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT