Sunday, May 19, 2024
Home » දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාසගත තරගාවලි ජයක්

දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාසගත තරගාවලි ජයක්

by sachintha
April 4, 2024 4:36 am 0 comment

නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණඩායම ඊයේ සමත් විය.

දෙරට අතර ඊස්ට් ලන්ඩන්හිදී ඊයේ පැවති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි ඉතිහාසයේ පළමු විස්සයි20 තරගාවලි ජය වාර්තා කළේය.

මින් පෙර දෙරට අතර ද්වීපාර්ශ්වික විස්සයි20 තරගාවලි 3ක් පවත්වා ඇති අතර, එම තරගාවලි ත්‍රිත්වයේම ජය දකුණු අප්‍රිකාව සතුවී තිබේ.

මෙය ශ්‍රී ලංකා පිල මව්බිමෙන් පිටතදී ලැබූ සිව්වැනි විස්සයි20 තරගාවලි ජය ලෙස සටහන් වන අතර, මින් පෙර ඉන්දියාව (2014), පාකිස්තානය (2015) සහ බංග්ලාදේශයට (2023) එරෙහිව තරගාවලි ජය ගෙන තිබිණි.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ කරා රැගෙන ගිය විශ්මි ගුණරත්නගේ ඉනිම ඊයේ එක් ලකුණකට සීමා වීමෙන් අනතුරුව නායිකා චමරි අතපත්තුට එක් වූ හර්ෂිතා මාධවී ලකුණු 97ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට රැගෙන ගියාය. මේ සබඳතාව වාර්තා අතරට එක් වූයේ විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් දෙවැනි කඩුල්ලට ගොඩනැඟුණු ඉහළම සබඳතාව ලෙසිනි.

ඊයේ 9 වැනි විස්සයි20 අර්ධ ශතකය රැස් කළ චමරි දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද එක් අන්තයක් රැකගත් හර්ෂිතා කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන ගියේ නොදැවී ලකුණු 54ක් රැස් කරමිනි. එය ඇයගේ 5 වැනි අර්ධ ශතකය ලෙස සටහන් විය. පන්දු 43කින් ගොඩනැඟුණු හර්ෂිතාගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර, ලකුණු 73ක් රැස් කළ චමරිගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 5කින් වර්ණවත් වෙද්දී ඊට වැය වූයේ පන්දු 46ක් පමණි. ඇය දැවී යන විට ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයට ලකුණු 54ක් පසුපසින් සිටියේ පන්දු 44ක් අතැතිවය.

හෂිනි පෙරේරා ලකුණු 10ක් සහ නිලක්ෂි සිල්වා පන්දු 6කින් ලකුණු 12ක් රැස් කරමින් ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාඩ්ට් ලකුණු 56ක් රැස් කළේ පන්දු 47කදී හතරේ පහර 8ක් සමඟිනි. ඇයට අනගි සහායක් දුන් නාඩිනෙ ඩි ක්ලර්ක් 5 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් පිහිටවූයේ පන්දු 35කිනි. සුගන්දිකා කුමාරිට තෙවැනි කඩුල්ල හිමි කර දෙමින් ලෝරා දැවී ගිය අතර, ඒ සමඟ විස්සයි20 කඩුලු 50 සීමාවට පිවිසීමට සුගන්දිකාට හැකි වූවාය.

නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ නාඩිනෙ ලකුණු 44ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ පන්දු 25කිනි. ඇනෙකේ බොෂ් ලකුණු 27ක් ඉනිමට එක් කළාය.

මේ සංචාරය යටතේ අයිසීසී කාන්තා ශූරතාවලියට ඇතුළත් දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 9 වැනිදා ඊස්ට් ලන්ඩන්හිදීම ආරම්භ වන අතර, ඉන් පෙර ශ්‍රී ලංකා පිල 6 වැනිදා පුහුණු තරගයකට එක් වෙයි.

දකුණු අප්‍රිකානු කාන්තා පිල – 155/6යි. (ඕවර 20) ලෝරා වොල්වාඩ්ට් 56, නාඩිනෙ ඩි ක්ලර්ක් නොදැවී 44, ඇනෙකේ බොෂ් 27 (සුගන්දිකා කුමාරි 24/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 18/1, කවීෂා දිල්හාරි 22/1, උදේශිකා ප්‍රබෝධනි 49/1)

ශ්‍රී ලංකා කාන්තා පිල – 156/6යි. (ඕවර 19.1) චමරි අතපත්තු 73, හර්ෂිතා මාධවී නොදැවී 54 (නාඩිනෙ ඩි ක්ලර්ක් 25/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT