Home » කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මෙහෙම කරන්න එපා

කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මෙහෙම කරන්න එපා

අපේ දරු­වාට වුණු අසා­ධා­ර­ණ­යට හරි විම­ර්ශ­න­යක් කරන්න

by Gayan Abeykoon
April 9, 2024 1:00 am 0 comment

වෙඩි වැදී මිය­ගිය ගුවන් සෙබ­ළාගේ නැන්දා කියයි

පොලිස් වෙඩි­තැ­බී­මෙන් මිය ගිහින් තිබෙන්නේ මගේ අයි­යාගේ දරුවා. පොඩි කාලේ ඉඳන් ඒ දරුවා හදා­ගත්තේ මමයි.එයා අප­රා­ධ­ය­කට සම්බන්ධ වෙන කෙනෙක් නොවෙයි. ඔය මොර­ග­හ­හේනේ වෙඩි තැබීම වුණු දවසේ මගේ දරුවා ඉඳලා තිබෙන්නේ වත්තල සුපිරි වෙළෙ­ඳ­ස­ලක එයා යාළු­වෙලා ඉන්න ගෑනු ළම­යත් එක්ක.එකො­ළහි ගාණ­කට වත්තල හිටපු ළම­යෙක් ඒ වෙලා­ව­ටම මොර­ග­හ­හේ­නේදී වෙඩි තියන්නේ කොහො­මද. මේ විදි­හට හොයන්නේ බලන්නේ නැතිව මේ කොල්ලෝ මරලා දාන එක නව­ත්තන්න. අපේ දරු­වාට වුණු අසා­ධා­ර­ණ­යට හරි විම­ර්ශ­න­යක් කර දෙන්නැයි බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවාÓයැයි  පාදුක්ක අංග­මුව ප්‍රදේ­ශ­යේදී පොලිස් වෙඩි පහ­ර­කින් මිය­ගිය ගුවන් සෙබ­ළාගේ නැන්ද­නි­යක වන මල්ලිකා රාජ­පක්ෂ මහ­ත්මිය පැව­සු­වාය.

හොරණ මාලො­ස්ඇළ ප්‍රදේ­ශ­යේදී ත්‍රී රෝද රථ­යක ගමන් ගත් පුද්ග­ල­යන් දෙදෙ­න­කුට වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැක­කරු බවට පොලි­සිය හඳු­නා­ගත් ගුවන් හමුදා සෙබ­ළකු වන රාජ­පක්ෂ පති­රගේ දිලන්ත ලක්මාල් රාජ­පක්ෂ යන සැක­කරු පාදුක්ක අංග­මුව ප්‍රදේ­ශ­යේදී පොලි­සි­යට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරීම හේතු­වෙන් පොලි­සිය ද ප්‍රති­ප්‍ර­හාර  එල්ල කිරී­මේදී  වෙඩි පහ­ර­කට ලක්ව බර­ප­තළ තත්ත්ව­යෙන් පාදුක්ක ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු ඊයේ  (08) අලු­යම මිය­ගොස් තිබුණි.

ඒ සම්බ­න්ධ­යෙන් වූ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය අවි­ස්සා­වේල්ල මහේ­ස්ත්‍රාත් ජනක ප්‍රසන්න සම­ර­සිංහ මහතා විසින් කළ අතර වැඩි­දුර සාක්ෂි කැඳ­වීම මේ මස 25 වැනි දින අවි­ස්සා­වේල්ල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය දී විභාග කිරී­මට නිය­මි­තය.

අදාළ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් ඝාත­න­යට ලක් වූ ගුවන් හමුදා කෝප්‍රල් දිලන්ත ලක්මාල් රාජ­පක්ෂ යන අයගේ නැන්දා වන මල්ලිකා රාජ­පක්ෂ මහ­ත්මිය වැඩි­දු­ර­ටත් මෙසේ ද කීවාය. මේ රටේ කව­දද සාධා­ර­ණ­යක් ඉටු වුණේ.  පොලි­සි­යට මොනවා හරි දෙයක් ඔප්පු කර­ගන්න බැරි වුණාම අහිං­සක දරු­වෙක් බලෙන් අරන් ගිහින් වෙඩි තියලා මරලා දානවා. මගේ දරුවා මිනී මරන්න තියා සතෙ­කු­ට­වත් ගල­කින් ගහන දරු­වෙක් නෙමෙයි. මේ රටේ යුක්ති­යක් තිබෙ­න­ව­නම් කවු­රු­හරි කමක් නෑ ඉදි­රි­පත් වෙලා අර වත්තල සුපිරි වෙළෙ­ඳ­සලේ ආර­ක්ෂිත  කැමරා පරීක්ෂා කර අපට සාධා­ර­ණ­යක් ඉටු කරන්න.

අපි කිය­න­වාට ඒ කැමරා ටික බලලා අපට සාධා­ර­ණ­යක් ඉටු කරන්න බැරි නම් මේ රටේ යුක්ති­යක් නෑ. හැම­දාම කොතැන බැලු­වත් අහිං­ස­ක­යෙක් මරලා දානවා බල්ලො වගේ. පස්සේ තුව­ක්කු­වක් විසි කර­නවා.ඔය මගේ දරු­වට වෙඩි තියපු තැන වැටිලා තිබුණු දුර­ක­ථ­නය එයාගේ එක නෙමෙයි. හෙල්මට් එක එයාගේ එක නෙමෙයි.ඒ සෙරෙප්පු එයාගේ නෙමෙයි. සෙරෙ­ප්පු­වල සයිස් වෙනස්.  ඉතින් අපි කොහො­මද මේ කියන ඒවා පිළි­ගන්නේ.

ගමේ අය කිය­නවා එතැන එක වෙඩි ශබ්ද­යයි ඇහුණේ කියලා. ඒ වුණාට මගේ දරු­වාගේ ඇඟේ වෙඩි පහර පහක් තිබෙ­නවා. පොලි­සිය වෙඩි පහක් තියලා මගේ දරු­වත් වෙඩි තිබ්බා­නම් වෙඩි සද්ද කීයක් ඇහෙන්න ඕනෑද. මේ දරුවා මත්ද්‍රව්‍ය පාවිච්චි කර­න­වද නැද්ද කියා මේ ගමේ අය­ගෙන් අහන්න පුළු­වන්. දැන් මට මගේ දරුවා නැති­වෙලා ඉව­රයි.හැබැයි එයාට සාධා­ර­ණ­යක් ඉටු කරන්න ඕනෑ. ඒකයි මම පොලි­ස්පති ඇතුළු හැමෝ­ගෙන්ම ඉල්ල­න්නේ­යිද පැව­සු­වාය.

මීගොඩ බී.කේ. කත්රි­ආ­රච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT