Home » අවුරුද්දට ඇති වෙන්න සහල්, එළවළු, බිත්තර හා කුකුළු මස් වෙළෙඳපොළට

අවුරුද්දට ඇති වෙන්න සහල්, එළවළු, බිත්තර හා කුකුළු මස් වෙළෙඳපොළට

by chanaka
April 10, 2024 2:47 pm 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මීට මාසයකට පමණ පෙර සීග්‍රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා රජය විසින් රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු හා සහල්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බව සඳහන් කළේය.

ඊයේ (09) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බොහෝ දෙනෙක් කිව්වේ අවුරුදු සමයේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5000 දක්වා ඉහළ යයි කියළයි. නමුත් මේ වනවිට කැරට් මිල පමණක් නොවෙයි අනෙකුත් එළවළු සියල්ලෙහිම මිල පහළ ගොස් තිබෙනවා. බිත්තරයක මිල රුපියල් 75ක් දක්වා ඉහළ යයි කියළා සමහරු කිව්වත් බිත්තර මිලත් රුපියල් 40 දක්වා අඩු වී තිබෙනවා.

වෙනත් වර්ෂවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට වෙළෙඳපළේ මෙම භාණ්ඩ සම්බන්ධව මිල ගණන් ඉහළ යනවා. නමුත් මෙවර එවැනි මිල ඉහළ යාමක් නැහැ. ඒ වගේම අවශ්‍ය තරම් පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව මිල දී ගන්නට පුලුවන්.

අද වනවිට වෙළෙදපළෙහි උතුරන්නට තරම් සහල්, එළවලු හා පලතුරු තිබෙනවා. අපේ ගොවි ජනතාවට එහි සම්පූර්ණ ගෞරවය හිමි විය යුතුයි. රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තවත් අඩු වේවි.

මැයි මාසය වනවිට බිත්තරයක මිල රුපියල් තිස් ගණනක් දක්වා අඩුවේවි. මේ අන්දමින් තවත් අභියෝග කිහිපයක් අපිට තිබෙනවා. ඒ සියල්ල ජයගෙන රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත කිරීම අපේ ඉළක්කය යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම මාසයේ දී ආරම්භ කිරීමට නියමිත ගෙවතු වගා වැඩටහන සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT