Home » හම්බන්තොට වරායේ බහාලුම් ප්‍රතිඅපනයන මෙහෙයුම් අරඹයි

හම්බන්තොට වරායේ බහාලුම් ප්‍රතිඅපනයන මෙහෙයුම් අරඹයි

by chanaka
April 10, 2024 9:07 pm 0 comment

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර තිබේ.

ඒ අනුව MV ‘MSC Ingrid’ බහාලුම් නෞකාව ඊයේ (09) ප්‍රථමවරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ තිබුණි.

එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන ‘MSC Sky11’නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත අතර එහිදි බහාලුම් 500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිනැව්ගත කෙරෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.

හම්බන්තොට වරායේ නව ව්‍යාපාර වේදිකාව සඳහා ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන සේවාවක් වන MSCහෙවත් මෙඩිටරේනියන් ෂිපින් නෞකා සේවාව එක්වීම විශේෂත්වයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා සඳහන් කරයි.

එමෙන්ම හම්බන්තොට වරායේ උපක්‍රමීය පිහිටීම යොදාගනිමින් ශ්‍රී ලංකාව නෞකා ප්‍රවාහන සේවාවන්හී කේන්ද්‍රයක් බවට පත්කිරීමට සැලසුම් තමන් සතුවන බවද ඔහු සඳහන් කර ඇත.

තවද බහාලුම් හැසිරිවීම වරාය යාන්ත්‍රණයේ අවසන් පියවර වන අතර එම සේවාවන් ආරම්භ කිරීමත් සමග හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැවැන්තයෙකු ලෙස පෙරට පැමිණෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම බහාලුම් සේවා ආරම්භ කිරීමත් සමග නිෂ්පාදන සහ අපනයන සේවා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සෘජුව ආනයනය කිරීමට හැකිවීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපයේ ආයෝජකයින්ට දිරිගැන්වීමක් ඇතිවන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT