පැය 24ම ක්‍රියාත්මක 1955 දුරකතන අංකයක්
සිංහල අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සති අන්තයේ යෙදෙන දීර්ඝ නිවාඩුවේ ගම්බිම් බලා යෑමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් මෙම මෙහෙයවන අතර එම ප්‍රවාහන සැලැස්ම පෙර අවුරුදු කාලය සහ පසු අවුරුදු කාලය ලෙස වෙන් කර ක්‍රියාත්මක වේ. අප්‍රේල් 5 වැනිදා සිට 14 වැනිදා දක්වා පෙර අවුරුදු කාලය වන අතර අප්‍රේල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පසු අවුරුදු කාලය ලෙස මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
පෙර ගමන් කාලය තුළ මගීන් ලක්ෂ 13ක් පමණ ප්‍රවාහන සේවාවන් අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් කොළඹ නගරයේ සිට හඳුනාගත් ප්‍රධාන කොරිඩෝ 5ක් පුත්තලම, දඹුල්ල, නුවර, හයිලෙවල් පාර, ගාල්ල දක්වා ගමන් ගන්නා ජනතාවට අමතර ගමන් වාර 700ක් දක්වා උපරිමයකට ධාවනයේ යෙදවීම සඳහා බස් රථ සංචිතයක් පවත්වාගෙන යන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමී ජයවර්ධන මහත්මිය පැවසුවාය.
මෙම ඒකාබද්ධ ප්‍රවාහන සේවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි. එහිදී ඒ මහත්මිය පැවසුවේ අධිවේගී මාර්ගවල බස රථ සංඛ්‍යාව ද වැඩි කර ඇති බවයි. මාකුඹුර මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත, කඩුවෙල, කඩවත, නාවින්න ප්‍රදේශවලින් ආරම්භ වන අධිවේගී සේවාවන් අතිරේක ගමන් වාර 150ක් දක්වා වැඩි කර ඇති බව ද ඇය පැවසුවාය.
මීට අමතරව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළත් කොට්ටාව මාකුඹුර බහුවිද බස් නැවතුම්පොළත් කඩවත බස් රථ අංගණයත් සමඟ විශේෂ බස් රථ සේවාවක් ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ආරම්භ කර ඇති අතර ඒ අනුව බස් රථ 1000ක් ධාවනයට එක් කර තිබේ. වෙනත් දිනවල බස් රථ 700ත් – 730ත් අතර ප්‍රමාණයක් ධාවනය වේ. එමෙන්ම ඊයේ (10) සිට 14 වැනිදා දක්වා බස් රථ 1400ක් දක්වා වැඩි කර තිබේ. මේ අතර සාමාන්‍යයෙන් දෛනිකව ධාවනය වන දුම්රිය ප්‍රමාණයට වඩා දුම්රිය ගමන්වාර වැඩි කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ සිට බදුල්ලටත් බදුල්ල සිට කොළඹටත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව ජනතාවට මෙන්ම අනුරාධපුර සිට යාපනයේ යන ජනතාවටත් දවසට ගමන් වාර දෙක බැගින් වැඩි කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වරට බදුල්ලේ සිට දෙමෝදර දක්වා කැලිප්සෝ දුම්රියක් ධාවනය කරන බැවින් අලුත් අවුරුදු සමයේ රුපියල් 1000ක් වැනි විශේෂිත සහන මිලකට එහි ගමන් කළ හැකි බවයි. මෙම අවුරුදු සමයේ යෙදෙන පාසල් නිවාඩුවේ දරුවන්ට නවමු අත්දැකීමක් හා විස්මිත පරිසර අත්දැකීමක් ලබාදීමට වහල නැති දුම්රියේ රැගෙන යෑමට හැකියාව තිබෙන බව ද ඇමැතිවරයා කීවේය. එමෙන්ම මෙම ඒකාබද්ධ ප්‍රවාහන සේවාව ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ රාජ්‍ය පෞද්ගලික සියලු දෙනාට ස්තූතිය පළ කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.
මගීන් සඳහා මගී පර්යන්තවල පහසුකම් සලසලා තිබෙනවා. 1990 ගිලන් රථ සේවාව යොදවලා තිබෙනවා. ඒ වගේම පානීය ජලය සහ රැඳී සිටීමට ස්ථාන සකස් කර තිබෙනවා. ජංගම පරීක්ෂණ කණ්ඩායම් ස්ථාන පහක යොදවලා තිබෙනව යම්කිසි අවශ්‍යතාවක් ඇති වුණහොත් බස් රථ පරීක්ෂා කිරීම සඳහා. ක්ෂණික දුරකතන ඇමැතුම වන 1955 පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ වසරේ හඳුන්වාදුන් වට්ස්ඇප් අංකය වන 0712595555 මගීන්ගෙන් ලැබෙන පැමිණිලි භාර ගන්නවා. මීට අමතරව දුම්රිය සේවාවන්ට සමගාමීව පළාත් මාරගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ගමන් වාර සකස් කර ගන්න උපදෙස් දී තිබෙනවා යැයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමී ජයවර්ධන මහත්මිය පැවසුවාය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පොල්වත්තගේ මහත්වරු ද මෙහිදී අදහස් පළ කළහ.
නුවන් කොඩිකාර, සුභාෂිණී සේනානායක