Home » ඇමැති විදුර ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකරගේ සුව දුක් බලන්න යයි
සංස්කෘතික නිලධාරීන් පිරිසක් සමඟ

ඇමැති විදුර ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකරගේ සුව දුක් බලන්න යයි

by sachintha
April 11, 2024 1:32 am 0 comment

‘සතුට විලයි සැපත මලයි’ ගීතය ගයමින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සලකුණු කළ ගායන ශිල්පී වෛද්‍ය දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ සුව දුක් විමසීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් පසුගියදා මහනුවර, පේරාදෙණියේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගියහ.

‘කලාකරු සුව දම්’ වැඩසටහන යටතේ මෙලෙස ඇමැතිවරයා ඇතුළු පිරිස මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා හමු වීමට ගිය අතර, එහිදී ‘සතුට විලයි සැපත මලයි’ ගීතය සහ තවත් ගීත කීපයක් දේවානන්ද වෛද්‍යසේකර මහතා සමඟ ගායනා කිරීමට එක් වීම විශේෂත්වයකි.

වෛද්‍යසේකර මහතා නීල නුවන් මහනෙල් මල්, මොකද මැණිකේ හනික යන්නේ, සඳ පායා සිනා සී, පෙම් මදිරාවේ රන් කුසලානේ, ආශා දෑසින් දකිනා සිහිනේ, ඈත පිටිසර මහ කැලෑවක, පවන් සුසුම් දැලින් වෙළී වැනි ජනප්‍රිය ගීත රැසක්ම සිංහල ගීත ක්ෂේත්‍රයට තිළිණ කළ ප්‍රබුද්ධ ශිල්පියෙකි. පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සංගීතාභිමානී යාවජීව සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, කළමනාකරණ සේවා නිලධාරීනි දිනිති ඩී. ගරුසිංහ, සංවර්ධන නිලධාරීනි ශ්‍යාමලී බණ්ඩාර, රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් වන තිළිණි දර්ශිකා, කලණ බාසුරු, බුද්ධික අමිත් රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT