Home » ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පිබිදීමක් ඇතිව තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පිබිදීමක් ඇතිව තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
April 12, 2024 1:37 am 0 comment

මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග පසෙකලා නැවත වරක් ආර්ථිකයේ පිබිදීමක් ඇති කර ගැනීම සහ අර්බුදයෙන් මිදීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවල දී සමස්ත ලෝකයම එක් තැනකට පැමිණි බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ගෙන යන මෙම ආර්ථික වැඩපිළිවෙළ තවත් මාස 18ක කාලයක් ඉදිරියට රැගෙන යන්නේ නම් ලෝකය හමුවේ පැමිණෙන ඕනෑම අභියෝග හමුවේ රටේ ආර්ථිකය කඩාවැටීමක් සිදු නොවන බවට සහතිකයක් දිය හැකි බව ඔහු සඳහන් කළේය. බොහෝ රටවල අර්බුදකාරී තත්ත්වයන්වලදී ලොව රටවල බෙදීම් තිබෙන අතර රුසියා – යුක්‍රේන යුද්ධය, මැදපෙරදිග යුද්ධය ආදිය ගත්විට එවැනි බෙදීම් දකින නමුත් ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයේ දී ලෝකයම එක් තැනකට පැමිණීම සමස්ත ලෝකයටම හොඳ උදාහරණයක් සපයන බවද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනස් වුවහොත් රටේ අනාගතය ඇත්තේ සති 4ක් පමණක් බව පෙන්වාදුන් ශෙහාන් සේමසිංහ මහතා රටේ ආර්ථිකය කඩාවැටුණොත් එය ගොඩනැඟීම සඳහා වසර 12කට වැඩි කාලයක් ගත වෙනවා. මේ හේතුවෙන් රටේ ජනතාව ඒ පිළිබඳව තීන්දු තීරණ ගත යුතු බවද පැවසීය. පොහොර, ඖෂධ, ආහාරපාන, ඉන්ධන, ගෑස් හිඟයක් පසුගිය කාලයේ මෙරට පැවැති බව සිහිපත් කළ මුදල් රාජ්‍ය ඇමැතිවරයා අද වනවිට එවැනි අර්බුදයන් අවසන් කොට යම්කිසි සන්ධිස්ථානයකට රට පැමිණ තිබෙන බවද රටේ ජනතාවට ද පීඩාවකින් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා තවත් ඉදිරියට ගමන් කළ යුතු බවද පෙන්වා දුන්නේය. අද වනවිට රට ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද මෙය ක්‍රමානුකූලව නැඟිටීමක් මිස ජනප්‍රියතාවයෙන් නොවිය යුතු බවද සඳහන් කළ ඒ මහතා ජනතාවගේ අපහසුතා එලෙසින්ම පවත්වාගෙන යෑම විපක්ෂයේ අපේක්ෂාව වී තිබෙන බවද කීවේය. අසීරු තත්ත්වයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා යම් යම් තීරණවලට එළඹීමට සිදුව තිබෙන නමුත් ජනතාවට වඩා හොඳ රටක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බවද ප්‍රකාශ කළේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT