Home » වැල්ලම්පිටියේ නිවෙසක සඟවා තිබූ දේව මාතා පිළිමයක් සොයා ගනී

වැල්ලම්පිටියේ නිවෙසක සඟවා තිබූ දේව මාතා පිළිමයක් සොයා ගනී

by sachintha
April 16, 2024 12:50 am 0 comment

වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ නිවෙසක සඟවා ඇති වටිනා දේව මාතා පිළිමයක් අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ නිවෙසක් වෙත හොර රහසේ රැගෙන යෑමට යොදාගෙන තිබූ සැලසුමක් පිළිබඳ මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා හට ලැබුණු දුරකතන ඇමතුමකින් දැන ගැනීමට ලැබී තිබිණි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා තම නිලධාරී කණ්ඩායමක් සමඟ කැලණිමුල්ලේ අදාළ නිවෙස වෙත ළඟාවී නිවෙස වට කරනු ලැබීය. එම නිවෙසට ඇතුළුව පොලිසිය එම දේව ප්‍රතිමා පිළිබඳ එහි සිටි පුද්ගලයකුගෙන් විමසා ඇත. එවැන්නක් ගැන නොදන්නා බව එවිට ඔහු පවසා තිබේ. කෙසේ වෙතත් පොලිසිය විසින් නිවෙසේ අල්මාරියක් ඇර පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබුණු සුදු රෙදි කඩකින් ඔතන ලද පිළිමයක් හමු වී ඇත.

එවිට එම පුද්ගලයා පවසා ඇත්තේ එම පිළිමය දේව පූජාවක් පැවැත්වීමට ගෙන යෑමට සූදානම් කළ එකක් බවය. මේ අනුව නිවෙසේ සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් අයකු කැලණිමුල්ලේ පදිංචි 48 හැවිරිදි අයකු වන අතර අනෙක් පුද්ගලයා වෙන්නවත්තේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පසු දින ඔවුන් විසින් මෙම දේවමැණි ප්‍රතිමාව මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු හට අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සූදානම්ව සිටි බවයි. වෙන්නවත්තේ පදිංචි සැකකරු පුනරුත්ථාපනයට ලක්වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවට අනාවරණය වී තිබේ.

වටිනා මැණික් ගල් ඔබ්බවා අලංකාර කර ඇති මෙම පත්තිනි දේව මාතා පිළිරුව අඟල් එකොළහක උසින් යුත් අතර එය නිධානයකින් හෝ විහාරස්ථානයකින් සොරා ගන්නා ලද එකක් ද දඹ රන් පිළිමයක් ද යන්න පිළිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරගෙන යයි.

පුරාවිද්‍ය පනතේ නීති රීති අනුව මොවුන් දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT