අයිපීඑල් තරගාවලියේ එතෙක් මෙතෙක් එක් ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාවත්, ලොව ඕනෑම විස්සයි 20 තරගයක දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවත් රැස් කරමින් සන්රයිස් හයිද්‍රබාද් පිල වාර්තාපොත අලුත් කිරීමට සමත් විය. සන්රයිස් පිල මේ වාර්තාව තැබුවේ පෙරේදා බැංගලූර් පිටියේදී රෝයල් චැලෙන්ජර්ස් පිලට එරෙහිව ලකුණු 25ක ජයක් ලැබූ තරගයේදීය. පළමුව පන්දුවට පහර දී ඕවර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 තුළ කඩුලු 7කට ලකුණු 262ක් ලබා ගත්තේය.
මීට පෙර අයිපීඑල් තරග බිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද සන්රයිස් පිල විසිනි. ඔවුන් මීට සති තුනකට පෙර මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව හයිද්‍රබාද් නුවර පැවැති තරගයේදී කඩුලු 3කට ලකුණු 277ක් රැස් කරමින් එම වාර්තාව බිහි කර තිබිණි. ලොව ඕනෑම විස්සයි 20 තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ නේපාලය විසිනි. පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උලෙළේ විස්සයි 20 තරගාවලියේදී ඔවුන් මොංගෝලියාවට එරෙහිව ඕවර 20ක් ඇතුළත කඩුලු 3කට ලකුණු 314ක් රැස් කිරීමට සමත් විය.
පෙරේදා තරගයේදී සන්රයිස් පිලේ ආරම්භක පිතිකරු ට්‍රෙවිස් හෙඩ් පන්දු 41කින් ලකුණු 102ක් රැස් කළ අතර, හෙන්රිච් ක්ලාසෙන් පන්දු 31කින් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය. මීට අමතරව ඒඩ්න් මාක්රම් පන්දු 17කින් නොදැවී ලකුණු 32ක් ද, අබ්දුල් සමාද් පන්දු 10කින් නොදැවී ලකුණු 37ක් ද රැස් කරමින් වාර්තාවට දායකත්වය ලබා දුන්හ. පන්දු 39කින් වාර්තා වූ ට්‍රේවිස් හෙඩ්ගේ ශතකය අයිපීඑල් තරග බිමේ සිව්වැනි වේගවත් ශතකය ද විය.
තරගය පුරා දෙපිලම ලකුණු 549ක් රැස් කළ අතර, ඊට හයේ සහ හතරේ පහර 81ක් ඇතුළත් විය. එය විස්සයි 20 තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු සන්රයිස් පිලේ පුහුණුකරු ලෙස ඩැනියෙල් වෙටෝරි කටයුතු කරන අතර, ක්‍රිකට් අධ්යක්ෂවරයා වන්නේ කුමාර් සංගක්කාර ය.
ෆවුස් මොහොමඩ්