Home » චමරිගේ යෝධ ඉනිමෙන් වාර්තා රැසක් – එක්දින තරගාවලිය සමවෙයි

චමරිගේ යෝධ ඉනිමෙන් වාර්තා රැසක් – එක්දින තරගාවලිය සමවෙයි

by chanaka
April 18, 2024 8:09 am 0 comment

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලිය 1 – 1 ලෙස සම කරමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(17) සමත් විය.

ඊයේ පැවති තෙවන එක්දින තරගය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කල තරගයක් වූ අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් පන්දු 139කදී නොදැවී ලබාගත් වේගවත් ලකුණු 195 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර පහක් ඉතිරිව තිබියදී පහසු ජයක් හිමිවිය.

තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගනු ලැබිය.

පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කාන්තා පිල පන්දුවාර 50.0කදී කඩුලු පහක් දැවී ලකුණු 301ක් රැස්කළ අතර, ලෝරා වොල්වාඩ්ට් පන්දු 147කින් වේගවත් 184ක් සහ මරිසන් කැප් පන්දු 34කින් ලකුණු 36ක් රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කවිෂා දිල්හාරි ලකුණු 47කට කඩුලු 2ක් ද, චමරි අතපත්තු ලකුණු 59කට කඩුලු 1ක් ද දවා ගත්හ.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කරමින් එම ඉලක්කය පසුකර ගියේය. චමරි අතපත්තුගේ විශිෂ්ට ඉනිමට අනගි සහයක් ලබාදෙමින් නිලක්ෂි ද සිල්වා පන්දු 71ක් තුල ලකුණු 50 රැස් කළේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොංගා කාකා ලකුණු 54කට කඩුලු 2ක් ද, නදීන් ඩි ක්ලර්ක් ලකුණු 59කට කඩුලු 1ක් ද බිඳ දැමූහ.

මෙම හඹා යෑමත් ජාත්‍යන්තර එක්දින තරගයක හඹායාමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු ගණනේ වාර්තාව සිය නාමය ඉදිරියේ ලියවාගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙම ඉනිමත් සමඟින් සමත් වුණා. ඇය විසින් බිඳ දැමුවේ මින් පෙර මෙග් ලෙනින් විසින් රැස්කළ ලකුණු 152ක වාර්තාවේ.

එමෙන්ම අන්තර්ජාතික එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් විසින් රැස්කළ තෙවන විශාලතම ඉනිම ලෙස ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක්වුණි.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා සේදී ගිය අතර, දෙවන තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළේය. තෙවන සහ තීරණාත්මක තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලිය සම ලෙස අවසන් විය.

සිය හොඳම එක්දින ඉනිම වාර්තා කල චමරි අතපත්තු අවසන් තෙවන එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර, තරහාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 335ක් රැස්කළ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩ්ට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT