Home » අවුරුදු නැකත් සීට්ටුවේ නැකතට පැළ සිටුවීමේ චාරිත්‍රය ඇමැති අතින්

අවුරුදු නැකත් සීට්ටුවේ නැකතට පැළ සිටුවීමේ චාරිත්‍රය ඇමැති අතින්

by sachintha
April 19, 2024 2:55 am 0 comment

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වන නැකතට පැළ සිටුවීමේ සමාරම්භක උත්සවය ඊයේ (18) පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා විසින් සුබ නැකතින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පලතුරු පැළ රෝපණය කිරීම සිදු කෙරිණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති කාදර්, අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහත්වරුන් ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවේ 2020 වසරේදී පරිසර ඇමැතිවරයාව සිටියදී පළමු වරට පැළ සිටුවීමේ නැකත සිංහල දෙමළ අලුත් අවුරුදු සීට්ටුවට ඇතුළත් කිරීමට තමන්ට හැකි වූ බවයි. එදා මම ජාතික නැකත් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව පැළ සිටුවීමේ නැකත දැන් වෙනමම නැකත් චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන එනවා. පරිසර ඇමැතිවරයා විදිහට මගේ ඉලක්කය තිබුණේ අපේ වන ගහනය 30%ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය ජය ගැනීමයි. ඒ නිසා මා ප්‍රකාශ කළේ, කුමක් හෝ පැළයක් රෝපණය කරන ලෙසයි. වර්තමානයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා විදිහට ජනතාවගෙන් ඉල්ලන්නේ, කුමන හෝ පැළයක් නොව ඵලයක් දෙන පැළයක් රෝපණය කරන ලෙසයි. 2018 මම කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී කොස් පැළ මිලියනයක් වගා කිරීම ආරම්භ කළා. එදා රෝපණය කළ කොස් ගස් අද ඵල දෙන තත්ත්වයට වර්ධනය වී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යට‍තේ රට පුරා ඇති සෑම ආයතනයකම කාර්යාල පරිශ්‍ර තුළ මේ ජාතික රුක් රෝපණ නැකතට සමගාමීව ඵලයක් දෙන පැළයක් සිටුවීම සිදු කරනවා.’ යැයි ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඡායාරූපය- රංජිත් අසංක

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT