Home » කෝටි 700ක බදු අහිමි කරමින් ගෙන්වූ සුපිරි වාහන 112 විකිණීම තහනම්

කෝටි 700ක බදු අහිමි කරමින් ගෙන්වූ සුපිරි වාහන 112 විකිණීම තහනම්

by sachintha
April 23, 2024 1:03 am 0 comment

රුපියල් කෝටි 700කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් මෙරටට ආනයනය කරනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථ 112ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම තාවකලිකව තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (22) නියෝගයක් නිකුත් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් නිසි ලෙස නිෂ්කාශනය නොකර මෙරටට ගෙන්වන ලද මෙම සුඛෝපභෝගී වාහන 112 සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බැවින් එම වාහන වෙනත් අයකු වෙත පැවරීම තහනම් කරමින් තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. පුද්ගලික තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව ඉකුත් 2023 වසරේ අප්‍රේල් මස 18 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ ස්ථානාධිතිපති පොලිස් පරීක්ෂක එම්. ඩී. සී. එන්. ගුණතිලක මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන කොමසාරිස්වරයාගෙන් මූලික වාර්තා ලබාගෙන ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව 2923 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තිය මඟින් කියැවෙන දුෂණය නමැති වරද මෙහි සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම වාහන අතර ලෑන්ඩ්කෘසර්, මොන්ටෙරෝ, ටොයොටා කැබ් වැනි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළත් වන අතර, ඇතැම් වාහන මෙරට වෙළෙදපොළ වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බවත් ඒවා 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වරින් වර විවිධ ආකාරයෙන් කන්ටේනර් තුළ සඟවා සහ වෙනත් ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කර ඇති බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධපෙරුම මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය. මෙම මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේ දී 235 වැනි අධිකාරියේ රේගු ආඥා පනතේ 136 සහ 137 වගන්ති සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ගලයන් භාරයේ ඇති මෙම වාහන ඉදිරියේ දී ශ්‍රී ලංකා රේගුව භාරයට ගැනීමට අධිකරණයෙන් නියෝග ලබා ගන්නා බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

විමර්ශන කරන කාලය තුළ මෙම රථ වෙනත් අයවලුන් වෙත පැවරීම හෝ අස්ථානගත කිරීමට ඉඩ ඇති බැවින් මෙම විමර්ශන අවසන් වන තෙක් ඒවා පැවරීම අන්සතු කිරීම තහනම් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව නියෝගයක් නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද අල්ලස් කොමිසම දැනුම් දුන්නේය. මින් ඉහතදීද වාහන 51ක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබා ගත් අතර, රුපියල් කෝටි 1200ක බදු ආදායමක් රජයට අහිමි කරමින් මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන 200ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 08 වැනිදාය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT