Home » මට තිබුණු එකම හයිය නැතිවුණා – තාත්තා හඬා වැටෙයි
ශාරීරික යෝග්‍යතා නොබලා රවිදු මැරතන් දිවෙව්වාට හදිසි මරණ පරීක්ෂක දෙහි කපයි

මට තිබුණු එකම හයිය නැතිවුණා – තාත්තා හඬා වැටෙයි

by sachintha
April 23, 2024 12:25 am 0 comment

“තාත්තෙ මම අද සමෘද්ධි අවුරුදු උත්සවයේ මැරතන් තරගයට ඉන්නවා. මට තරගෙන් දිනන්න පුළුවන්. මගෙ උදව්වට මගෙ යාළුවො ඉන්නවා” කියල ගෙදරින් උදේ ගියපු මගෙ පුතාට මෙහෙම දෙයක් වෙයි කියල මම හිතුවෙ නෑ.

පවුලේ බර ගෙනියන්න හිටපු එකම දරුවා මට නැති වුණා. ඉතිං මට මොන දේ තිබුණත් මොකටද මම කොහොම දරාගන්න ද ඔයා අපිව දාල ගියා.

වෑත්තෑව දඹදෙණිය පදිංචි ඒ.එම්. ජයසිරි අධිකාරි මහතා හඬා වැලපෙමින් තම දරුවා පිළිබඳ එසේ පැවැසීය.

තරගය ගමනාන්තය දක්වා ගමන් කර නැවතත් ආරම්භක ස්ථානයට පැමිණෙමින් සිටියදී මිය ගිය වෑත්තෑව දඹදෙණිය පදිංචිව සිටි ඒ.එම්. රවිදු දිල්ශාන් අධිකාරි (17) තරුණයාගේ පියා එසේ පැවසීය.

පන්නල සමෘද්ධි කොට්ඨාසයට අයත් සමෘද්ධි සංගම් ඒකාබද්ධව සමෘද්ධි ප්‍රතිලාභීන්, ප්‍රදේශවාසීන් හා රාජ්‍ය නිලධාරීන් එක්ව එම අවුරුදු උත්සවය ඊයේ (21 වැනිදා) පවත්වන ලද්දේ වෑත්තෑව ප්‍රජාශාලා භූමියේදීය. උදෑසන 7.30ට පමණ ඇරැඹි අවුරුදු උත්සවයේ ආරම්භක කටයුතුවලින් අනතුරුව තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් තරග ඉසව් පවත්වන්නට යෙදුණු අතර එම තරග ඉසව් අතර එක් තරග ඉසව්වක් වූයේ මැරතන් ධාවන තරගයයි. රවිදු ද තම මිතුරන් සමඟ සංවිධායක මණ්ඩලයට නම ලබා දීමෙන් අනතුරුව තරගකරුවකු ලෙස මැරතන් ධාවන තරගයට සහභාගි වී ඇත. උදෑසන 7.45ට පමණ කටුගම්පළ දඹදෙණිය ප්‍රධාන මාර්ගයේ වෑත්තෑව ප්‍රජා ශාලාව අසලින් ඇරැඹි මැරතන් ධාවන තරගයේ ගමනාන්තය වූයේ කිලෝමීටර් 02ක් දුර වූ මතව විහාරස්ථානය අසල වූ මංසන්ධියයි. අනෙක් තරඟකරුවන් සමඟ කරට කර සටනක් දෙමින් එහි ධාවනයේ යෙදුණු රවිදු මතව විහාරස්ථානය අසල ගමනාන්තය සලකුණු කර නැවතත් ප්‍රජා ශාලා භූමියේ ආරම්භක ස්ථානයට පැමිණෙමින් සිටියදී එක් වරම කටුගම්පළ දඹදෙණිය ප්‍රධාන මාර්ගයේ බුමිමාන නගරයේ ඇති පැති බැමි බැඳ තිබූ අඩි 04ක් පමණ ගැඹුරැති කොන්ක්‍රීට් කානුවට ඇද වැටී තිබේ. එම ඇදවැටීමත් සමඟ ඔහුගේ සහායට පසුපසින් පැමිණි රවිදුගේ යහළුවන් හා එහි රැඳී සිටි පිරිස එක්ව රවිදු ඉන් ගොඩගෙන වහා දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබූ අතර ඒ වන විටත් රවිදු ජීවන ගමනට සමු දී තිබිණි.

සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ රවිදු දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකි. 2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව දඹුල්ල ප්‍රදේශයේ හෝටල් පුහුණු පාසලකට ඇතුළත්ව ඇති රවිදු එහි පාඨමාලාව නිම කර ඉකුත් 10දා නිවසට පැමිණ තිබේ.

පවුලේ ජීවන බර කරට ගැනීමේ අපේක්ෂාවෙන් අනාගත බලාපොරොත්තු රැසක් පොදි බැඳ සූපවේදියකු ලෙස ජීවන ගමනේ සාර්ථකත්වයට මංපෙත් විවර කර ගනිමින් සිටි රවිදුගේ හදිසි වියෝවෙන් වෑත්තෑව දඹදෙණිය ගම්පියසේ සැවොම වික්ෂිප්තව සිටිති.

මපියන්ගේ බසට අවනත නිහතමානී චරිතයකින් හෙබි රවිදු ගමේ කාගේත් ප්‍රසංශාවට ලක් වූ ප්‍රියමනාප චරිතයකි. පියාට ශක්තියක් වෙමින් පියා ඇති දැඩි කළ කිරි ගවයන්ගේ කටයුතුවලට අවශ්‍ය උදව් උපකාර ලබා දෙමින් පියාට ජීවන බරට රවිදු උරදුන්නේය.

රවිදුගේ හදිසි වියෝව නිසා එතෙක් තරග ඉසව් ආරම්භ කර තිබූ සමෘද්ධි බක්මහ උලෙළේ කටයුතු ද සංවිධායකයන් විසින් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරිණි.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ඊයේ (22) දහවල් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. විජයවර්ධන මහතා හා දඹදෙණිය හදිසි මරණ පරීක්ෂක ජී.එල්.බී. විතාරණ යන මහත්වරුන් ඉදිරියේදී පැවැත්වුණු අතර එහිදී රවිදුගේ මරණය මැරතන් ධාවනයේ යෙදීමෙන් අධික ලෙස වෙහෙසට පත් වීම හේතුකොට හෘදය වෙත රුධිරය ගෙන යන රුධිර නාළ අවහිර වීමෙන් ඇති වූ මරණයක් බවට අනාවරණය කෙරිණි. එහිදී හදිසි මරණ පරීක්ෂකවරයා අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී එයට සහභාගි වන තරගකරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කර තරගවලට ඇතුළත් කර ගැනීමට පියවර ගතයුතු බවත් රාජ්‍ය නිලධාරීන් ද සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයේ එම කටයුතු පැහැර හැර තිබීම පිළිබඳ තරයේ එහිදී අවවාද කෙරුණු අතර මින් ඉදිරියට එසේ කිරීමට පියවර ගත යුතු බවට ද ප්‍රකාශ කෙරිණි. එසේ පූර්ව සූදානමකින් එම කටයුතු මැනවින් සංවිධානය කර තිබුණේ නම් මෙම තරුණයාගේ ජීවිතය බේරාගැනීමට තිබූ බවද ප්‍රකාශ කෙරිණි.

අලව්ව – ජයන්ත දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT