Home » අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් දෙන්නේ ඡන්ද ගුංඩුවකට නොවේ – ඇමැති ප්‍රසන්න රණතුංග

අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් දෙන්නේ ඡන්ද ගුංඩුවකට නොවේ – ඇමැති ප්‍රසන්න රණතුංග

by sachintha
April 23, 2024 1:29 am 0 comment

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් දීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත්, එය ඡන්ද ගුංඩුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (21) ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් බෙදා දුන් අවස්ථාවේදීය. කැලණිය, බියගම, මහර, කටාන සහ දිවුලපිටිය ආසනවල මේ සහල් බෙදාදීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“සහල් බෙදන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නොවේ. ආණ්ඩුවෙන් ජනතාවට යමක් බෙදුවොත් එය ඡන්ද ගුංඩුවක් ලෙස විපක්ෂය හඳුන්වනවා. ඔවුන් යමක් බෙදුවොත් එය ජනතා සේවය ලෙස හඳුන්වනවා. විපක්ෂයේ මේ මෝඩ තියරිවලට නොරැවටෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී පවුල් 2,511,840ක් වෙනුවෙන් සහල් බෙදා දීම ඊයේ ආරම්භ කළා. මේ වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් 4,676,474,300ක්.

මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 2,41,623කට සහල් කිලෝ 10 බැගින් ඉදිරි මාස දෙකේ ලැබෙනවා. ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 459,083,700ක්.

මේ ව්‍යාපෘතිය යටතේ වැඩිම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවකට සහල් සහනාධාරය හිමි වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එම පවුල් සංඛ්‍යාව 283,013ක්. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 537කට අධිකයි. වැඩිම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ. එම පවුල් සංඛ්‍යාව 2,43892ක්. මිලියන 400කට අධික මුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා. අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, නුවර, කුරුණෑගල, මන්නාරම, මාතලේ, මොනරාගල, මුලතිව්, පොලොන්නරුව, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.”

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරු ද මෙහිදී අදහස් ප්‍රකාශ කළහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT