Home » පාස්කු ත්‍රස්තයන් සමඟ අපට ඩීල් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පාස්කු ත්‍රස්තයන් සමඟ අපට ඩීල් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
April 23, 2024 1:21 am 0 comment

පාස්කු ත්‍රස්තයන් සමඟ ඩීල් නොමැති බවත් තරාතිරම නොබලා දිය හැකි උපරිම දඬුවම දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පාස්කු දා ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව පෙරේදා (21) කොළඹ ශාන්තමරියා වැඩිහිටි නිවාසය සංවිධානය කර තිබූ දානමය කටයුත්තකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.

“මීට වසර පහකට පෙර ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙරට දේවස්ථාන සහ හෝටල් ගණනාවක් ඉලක්ක කරගෙන සිදු කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් කතෝලික භක්තිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ජීවිත, අත්පා අහිමි වුණා. මේ ප්‍රහාරයට අදාළ තොරතුරු, මහ මොළකරුවන්, මෙය පිටුපස කටයුතු කළ පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධ සත්‍යය හෙළිදරව් වුණේ නෑ.

පාස්කු දා ප්‍රහාරයෙන් පසුව මෙරට මෙතෙක් බිහි වූ සෑම නායකයකුම මෙහි සත්‍යසොයා දෙන බවට පොරොන්දු වුණා. ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවත් මිනිසුන්ගේ ඡන්දය ගැනීමට පමණක් ඔවුන් එම පොරොන්දු දුන්නා. පසුව මිනිසුන් මංමුලා කරමින් සත්‍යය වසන් කළා.

එවන් පරිසරයක් තුළ කුමන ආකාරයකින්වත් මේ ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ කිසිම අයකු ගලවාගැනීමට මම කටයුතු කරන්නේ නෑ. ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන් සහ කණ්ඩායම් නීතිය හමුවට ගෙනැවිත් මොවුන්ට විරුද්ධව උපරිම දඬුවම් දෙනවා. ”

මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක්වූවාය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT