Home » උතුරු දුම්රිය මාර්ග‍ෙය් කඩිනම් සංවර්ධනයට බාධා වන දසසිල් ආරාමය හැකි තරම් සුරකින බවට දුම්රිය සාමාන්‍යාධිකාරි අවසන් රාජකාරියේදී කියයි

උතුරු දුම්රිය මාර්ග‍ෙය් කඩිනම් සංවර්ධනයට බාධා වන දසසිල් ආරාමය හැකි තරම් සුරකින බවට දුම්රිය සාමාන්‍යාධිකාරි අවසන් රාජකාරියේදී කියයි

by sachintha
April 24, 2024 1:41 am 0 comment

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර සිට මහව දක්වා ඉදිකරනු ලබන උතුරු දුම්රිය මාර්ගය මේ වන විට කඩිනමින් ඉදිකර ගෙන යනු ලබයි. එහි ඉදිකිරීම් මේ වන විට තඹුත්තේගම දුම්රිය ස්ථානය දක්වා පැමිණ තිබේ.

දැනට පවතින දුම්රිය මාර්ගයන්ට අමතරව දුම්රිය ස්ථානය සංවර්ධනය වීමට සමගාමීව දුම්රිය මාර්ගය ද පුළුල් වන්නේ අමතර දුම්රිය මාර්ගද සමගිනි. එම කටයුත්තට මේ වන විට බාධාවක් වී ඇත්තේ දුම්රිය ස්ථානය අසල රක්ෂිත ඉඩම් තුළ ඇති අනවසර ඉදිකිරීම්ය.

ඒ අතර දස සිල් මාතාවක් ද දුම්රිය රක්ෂිතයේ ආරාමයක් සකස් කරගෙන සිටින්නේ කලක සිටය. මෙම ආරාමය අසල බෝධියක්ද චෛත්‍යයක්ද ඇතුළු තවත් කුඩා විහාර මන්දිරයක් ඉදිකොට ඇති බව දුම්රිය බලධාරීහු පවසති. මෙම ඉදිකිරීම් ද අමතර දුම්රිය මාර්ග ඉදිකිරීමට බාධාවක් වී ඇතැයි දුම්රිය බලධාරීන් වැඩිදුරටත් පවසති.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් මහවැලිය මඟින් තඹුත්තේගම ප්‍රදේශයේ ජනතාවට රජයේ මැති ඇමැතිවරුන් මැදිහත්වී බෙදා දීම නිසා මෙම ගැටලුවට මුල් හේතුවක් වී ඇති බව නිලධාරීහු පවසති.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම් තඹුත්තේගම ජනතාවගේ සංවර්ධනයට බොහෝ දුරට බලපාන බව ද මෙම ප්‍රශ්නගතව තිබෙන දසසිල් මාතාවගේ ආරාමය නිරීක්ෂණයට පැමිණි දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා මිය යෑමට ටික වේලාවකට පෙර දසසිල් ආරාමයේදී එහි දායකයන්ට පැවසුවේය.

තමාද බෞද්ධයකු බවත් ප්‍රදේශයේ දියුණුවට සිදුකරනු ලබන ව්‍යාපෘතිවලට තමාට බලපෑම්කොට නවතා දැමිය නොහැකි බවත් එහිදී ඔහු ඒ අයව දැනුම්වත් කරනු ලැබුවේ අනීතිකව ඉදිකර ඇති අනවශ්‍ය ඉදිකිරිම් ඉවත් කිරීමට බලයක් ඇති බව පෙන්වා දෙමිනි. අධිකරණ ක්‍රියාමාර්ගයෙන් ද මෙම අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කළ හැකි බව පෙන්වා දුන් ඔහු දසසිල් මාතාව හමුවේ පවසා සිටියේ තමන් මෙහි පැමිණියේ ගැටුමකින් තොරව සාමකාමීව මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට බවය.

මෙම ආරවුල හේතුවෙන් මෙම මාර්ගය ඉදිකිරීම් නවතා දැමිය නොහැකි බව පෙන්වා දෙමින් විහාරගෙටත්, බෝධියටත්, චෛත්‍යයටත් බරපතළ හානි නොකොට අවම හානියකින් ඉදිකිරීම් කටයුතු කිරීමට එකඟතාවයට එළඹෙන්නේ ගැටුමකින් තොරව සාමකාමීව එම ගැටලුව නිරාකරණය කරමිනි.

දුම්රිය මාර්ගය ආවරණය වන පරිදි බැම්මක් ද සාදා දෙන බව ද ඒ මහතා එහිදී පැවසීය. තමන් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මෙම අවස්ථාවට දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ද, තඹුත්තේගම දුම්රිය ස්ථානාධිපති එම්.ටී. නීරංග ප්‍රමෝධ්‍ය මහතා ද තවත් දුම්රිය ආරක්ෂක නිලධාරින් රැසක් ද, පොලිස් නිලධාරින් රැසක් ද දායක පිරිසක් ද ඊට සහභාගි වූහ.

තඹුත්තේගම – සී.එම්. ආරියපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT