Home » වසර 5ක් තිස්සේ ප්‍රෙෂර් තිබුණත් මහත්තයා ස්ථිරව බේතක් ගත්තේ නෑ

වසර 5ක් තිස්සේ ප්‍රෙෂර් තිබුණත් මහත්තයා ස්ථිරව බේතක් ගත්තේ නෑ

by sachintha
April 24, 2024 1:02 am 0 comment

ජ්‍යෝතිර්වේදි චන්ද්‍රසිරි බණ්ඩාරගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් බිරිය පවසයි

සිය සැමියාට වසර 5ක පමණ සිට අධික රුධිර පීඩනය තිබුණත් ස්ථිරව බෙහෙත් නොගත් බවත්, ඔහු බෙහෙත් බොන්න ටිකක් කම්මැළි බවත් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදි චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ බිරිය වන හිනිදුම ලියනගේ චම්පිකා (59) මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ තලවතුගොඩ හෝකන්දර පාරේ සමඟි මාවත, රොම්ස් ලැන්ඩ්හි අංක 424/01 නිවෙසේ පදිංචි හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර වන මියගිය තම සැමියාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමිනි.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඇල්.ඇම්. සේනානායක මහතා සිදු කළ අතර, මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් (23) දා සිදු කළාය.

එහිදී තවදුරටත් සාක්ෂි දෙමින් එච්.එල්. චම්පිකා මහත්මිය මෙසේද කීවාය:

“මේ මියගොස් සිටින්නේ මගේ සැමියා. අප විවාහ වී දැනට අවුරුදු 36ක්. අපට දරුවන් දෙදෙනකු ඉන්නවා. දුව ලංකාවේ පුතා ඔස්ට්‍රේලියාවේ. මගේ සැමියාට වසර 5ක පමණ සිට අධික රුධිර පීඩනය තිබුණා. ඒ සඳහා පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් තාවකාලිකව ප්‍රතිකාර ගත්තා. ඒත් ස්ථිරවම ප්‍රතිකාර ගන්න ගියේ නෑ. මහත්තය බෙහෙත් බොන්න ටිකක් කම්මැළියි. මගෙ සැමියා මස් මාළු කන්නෙ නෑ. එදා (22) උදේ 7.00ට පමණ ජ්‍යෝතිෂ වැඩසටහනකට සහභාගි වීමට තිබෙනවා කියලා කලින් දවසෙ මට පැවසූ නිසා පසුදා උදෑසන 4.00ට අවදි වී කොළකැඳ පානයක් සකසා අලුයම 5.45ට පමණ මහත්තයා නිදා සිටි කාමරයට ගොස් ඔහු අවදි කිරීමට උත්සාහ කළා. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ. කොතරම් සෙලවුවත් අවදි වුණේ නෑ. මට ටිකක් බය හිතුණා. පසුව මම දුරකතනයෙන් දුවට දැනුම් දුන්නට පස්සේ දුව ක්ෂණිකව ගිලන් රථයක් එවුවා. පසුව සැමියා රැගෙන තලවතුගොඩ හේමාස් රෝහලට ගියා. එහිදී වෛද්‍යවරුන් පැවසුවේ සැමියා මියගොස් ඇති බවයි. මහත්තයාගේ මරණය පිළිබඳ මට සැකයක් නැහැ.”

මියගිය චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ එකම දියණිය වන හේරත් මුදියන්සේලාගේ සමාධි ලංකා බණ්ඩාර (34) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය:

“මේ මියගොස් සිටින්නේ මගේ පියා. විවාහයෙන් පසුව අප වෙනම ජීවත් වෙන්නේ. පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරියක ලෙස මම සේවය කරනවා. මගේ සහෝදරයා රැකියාව කරන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර. සිද්ධිය වූ දා අම්ම මට දුරකතනයෙන් කතා කර කිවුවා තාත්තාට කැඳ ටික අරගෙන කාමරයට ආවා, කතා කළා කතා කළා, තාත්තා නැගිටින්නෙ නෑ නේ කියලා. ඊට පස්සේ මම අම්මට කිවුවා ඉක්මනට ලෑස්ති වෙන්න, මම ගිලන් රථයක් එවන්නම් කියලා. ඒ පාර අම්මලාගේ නිවෙස අසල තවත් කිහිප දෙනකු සමඟ තාත්තව තලවතෙකුට හේමාස් රෝහලට රැගෙන ගිහින් තිබුණා. ඉන් ටික වේලාවකට පසු මමත් රෝහලට ගියා. ඒ යන විටත් වෛද්‍යවරුන් අම්මට කියලා තිබුණේ තාත්තා මිය ගිහින් කියලා.”

ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අභාවප්‍රාප්ත ප්‍රවීණ ජ්‍යෝතිර්වේදි චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නිගමනය කළාය. සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ පොලිසියේ පොලිස් කොස්තාපල් (23034) වේරංග ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT