Home » චමරි යළිත් අංක එකට

චමරි යළිත් අංක එකට

by sachintha
April 24, 2024 1:20 am 0 comment

දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් එක්දින තරගයේදී නොදැවී ලකුණු 195ක් රැස් කිරීමත් සමඟ අයිසීසී කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වෙයි.

ඊයේ නිකුත්වූ නවතම ශ්‍රේණිගත ලැයිස්තුව අනුව ඇය දෙවැනි වතාවටත් ලෝකයෙන්ම අංක එකට පැමිණි අතර, මෙයට පෙර පසුගිය වසරේ ජූලි මාසයේදී අයිසීසී පිතිකාරිනියන් අතරේ පළමු තැන සිටියාය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු කාන්තා එක්දින තරගයකදී ලෝකයේ තුන්වන ඉහළම ලකුණු ලැබූ පිතිකාරිනිය බවට පත්වෙමින් පන්දු 139කදී හයේ පහර 5ක් හා හතරේ පහර 26ක් සමඟ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී ඇයගේ ප්‍රහාරය පැතුම් නිශ්ශංකට පමණක් දෙවැනි වූවාය.

චමරි ඉහළ නගිනවාත් සමඟ මෙතෙක් කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පිතිකාරිනිය ලෙස සිටි දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ් තෙවැනි ස්ථානය දක්වා පහළට වැටිණි.

ශ්‍රී ලංකාවේ නිලක්ෂි ද සිල්වා පිතිකරණ ලැයිස්තුවේ 45 වැනි ස්ථානයේ, හර්ෂිතා මාධවී ලෝකයේ 51 වැනි ස්ථානයේ හා කවිෂා දිල්හාරි ස්ථාන 4ක් ඉහළ ගොස් 52 වැනි ස්ථානයේ සිටිති. පන්දු යවන්නියන් අතර ඉනෝකා රණවීර 19 වැනි ස්ථානයට පත්ව ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT