අනුරාධපුර දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි හේරත් මුදියන්සේලාගේ කටුපොල්ලන්දේ ගෙදර වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙරේදා (23) විවෘත තීන්දුවක් නිකුත් කළේය. එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මුත්‍රා හා ලේ සාම්පල ඇතුළු ශරීරයේ කොටස් කීපයක් රජයේ රස පරීක්ෂක වෙත යවා අදාළ පරීක්ෂණවලින් පසු එම මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය. ශරීරයේ අභ්‍යන්තර හෝ මතුපිට සැක කටයුතු තුවාල කිසිවක් දක්නට නැති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව හෙතෙම පැවසීය.
ජීවිතක්ෂයට පත් වූ දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.ඒ.සී. ගුණතිලක මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව දේහය, බිරිය ඇතුළු ඥාතීන්ට අවසන් කටයුතු සිදු කිරීමට භාර දුන්නේය. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා, විශේෂ රාජකාරි කටයුතු කිහිපයක් සඳහා ඉකුත් 22දා අනුරාධපුරයට පැමිණ දුම්රිය ඉංජිනේරුවරුන් තිදෙනෙකු සමඟ අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ කාමරයක නවාතැන් ගෙන සිටියදී පෙරේදා (23) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබිණි.