Home » දමිතා-සැමියා ඇප පිට මුදාහරී

දමිතා-සැමියා ඇප පිට මුදාහරී

රට ගමන් තහනම්

by mahesh
April 25, 2024 1:00 am 0 comment

කොරියාවේ රැකියා ලබා දෙන පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (24) නියෝග කළේය. එම යුවළ අයකුට රුපියල් ලක්ෂ 50 බැගින් වන ශරීර ඇප මත මෙසේ මුදා හැරීමට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරුවන් දෙදෙනාට ආගාමික විගාමික පනත යටතේ චෝදනා ගොනු කිරීමට නොහැකි බැවින් ඔවුන් දෙදෙනාට ඇප දීමට අධිකරණ බලයක් ඇති බවයි. ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9ත් – 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

“වංචාව විමර්ශන කිරීම සඳහා සාධාරණ කාලයක් පැමිණිල්ලට තිබුණා. සැකකරුවන් කිහිප වතාවක් අධිකරණය පිහිට පතා තිබෙනවා. පැමිණිල්ල සද්භාවයෙන් කටයුතු කළා ද යන්න ප්‍රශ්නසහගත යැයි ද මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

“සාක්ෂි ගෙනෙනතුරු සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට බැහැ. අපට අවාසි සිදු වූ අවස්ථාවේ පැමිණිලි කිරීමට ගියත් ඒ පැමිණිලි කිසිවක් භාර ගත්තේ නැහැ. අප ඒ බවට සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණිලි කළා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළා. ඒ වගේම අප අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටියා. එහි තීන්දුව ලබා දෙන දිනයේම මුදල් වංචාවක් බවට ගොනු කළ චෝදනා ආගමික විගාමික පනත යටතේ ගැනෙන වරදක් ලෙස වෙනස් කළා. අවස්ථා කිහිපයකදීම සැකකරුවන්ට අවාසිසහගත ලෙස කටයුතු කළා. මෙය ඇප දිය හැකි වරදක්. ඒ අනුව ඇප ලබා දෙන්න යැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුවන් විදේශගත වීමේ අභිලාෂයෙන් සිටි බවට පෙනී යන බව දන්වා සිටියේය. පැමිණිල්ලේ ස්වරූපය අධ්‍යයනය කිරීමේදී රට යැවීමට මුදල් ගෙන රැකියා සඳහා යවා නැති බවත් මුදල් ගෙන රැකියා ලබා නොදෙන්නේ නම් අංක 403, 389, 388 විදේශ රැකියා පනතේ 64 යටතේ නඩු පැවරිය හැකි බවත් දන්වා සිටියේය.

පැමිණිල්ලේ අරමුණ වන්නේ ද විදේශ රැකියා සඳහා පිටත්ව යෑමයි. ඒ අනුව ඇප දීමේ අධිකරණ බලය අහිමි කිරීමට එම වගන්ති අදාළ වන්නේ නැහැ. සැකකරුවන් එදින ඉදිරිපත් කරමින් අධිකරණයට භාරදීමට පැමිණි මෝසම භාර ගත්තේ නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණා. ඒ වගේම සැකකරුවන් අවස්ථා ගණනාවකදී අධිකරණයේ පිහිට පතා තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ට ඇප දීමට අධිකරණය බලයක් ඇති බවට තීරණය කරනවා යැයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT