Thursday, May 8, 2025
Home » කුඩුත් එක්ක අසුවූ නාවික ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කුඩුත් එක්ක අසුවූ නාවික ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

by mahesh
April 25, 2024 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

රුපියල් ලක්ෂ 75ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා ලබන 26 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය මුල්ලේරියාව පොලිසියට අවසර දුන්නාය.

ඒ අනුව මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ අයිස් ග්‍රෑම් 434ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන පන්සල් වත්ත පාර, අංගොඩ පදිංචි ජයමුනි ලක්මාල් සඳරුවන් සිල්වා (28), අයිස් ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සිරිපැරකුම් මාවත, මුල්ලේරියාව, අංගොඩ පදිංචි මහවත්තගේ දොන් බුද්ධික ජයලත් (27), අයිස් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 03ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන උල්පත්ගම, ගලෙන්බිඳුණුවැව පදිංචි නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු වන විජේවීර රත්නායකලාගේ තිරිදු මධුෂාන් (33) සහ ඇඹිලිපිටියේ පදිංචි ලුතිනන් කමාන්ඩර්වරයකු වන ගමගේ දොන් අරෝෂ් මියුරු (33) යන අයවලුන්ය. මෙම සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවූ අතර සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා වසරක කාලයක පමණ සිට විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට එම වාර්තාවල දැක්වා ඇතැයි ද මුල්ලේරියාව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන්ගෙන් දෙවැනි සැකකරුගේ නි‍ෙවසේ සිටියදී මොවුන් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බවත්, තෙවැනි සහ සිව්වැනි සැකකරුවන් නිතර නිතර මෝටර් රථයකින් එම නි‍ෙවසට පැමිණෙන බවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවත් මුල්ලේරියාව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ කුමන අයවලුන් ද? ඔවුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සමීපව ඇසුරු කරන්නේ ද? යන්න පිළිබඳව දීර්ඝ ලෙසින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බැවින් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසට මෙහිදී මුල්ලේරියාව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 26 වැනිදා තෙක් මුල්ලේරියාව පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT