Home » පොලොන්නරුවේ තිවංක පිළිමගෙය නිසියාකාරව ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් විනාශමුඛයේ

පොලොන්නරුවේ තිවංක පිළිමගෙය නිසියාකාරව ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් විනාශමුඛයේ

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ජාතියේ මහා කලාගාරය ලෙස සැලකෙන පොලොන්නරුවේ තිවංක පිළිමගෙය නිසියාකාර සංරක්ෂණයට ලක්නොවීම නිසාත් වැසි සුළං හා ආලෝකය ආවරණය කිරීමට ගෝණි පඩංගුවක් හෝ බට පැළැල්ලක් යෙදීමට තරම් බලධාරීන්ගේ සිත් යොමු නොවීමත් නිසා වැඩිකල් නොගොස් එහි අවසන් ගමන සිදුවනු ඇති බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ බටලීය පිහිටි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“මේ ව්‍යසනය මෙතරම් දරුණුවට සිද්ධ වෙන්නේ විහාර ගොඩනැඟිල්ල ආවරණය කරන ලද අලුතෙන් ඉදි වූ වහල බිත්තිවලට අඩි දොළහක් විතර උසින් ඉදිකිරීම නිසයි. වහලය ඉදිකළ ආයතනයේ වැරැද්දක් අපි දකින්නේ නැහැ. මේවා සැලසුම් කළ උපදෙස් දුන්න අය පොලොන්නරු ප්‍රදේශයේ මෝසම් සුළං, අව්ව වැස්ස සම්බන්ධව අවබෝධයකින් කටයුතු කළානම් මෙහෙම වෙන එකක් නැහැ. මේ ගැන සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දැනුම්වත් කළා. ඇමැතිවරයා අපේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස සඳහන් කළා. නමුත් මීට පෙර අප ලිඛිතව ඉදිරිපත් කළ කිසිදු යෝජනාවකට ඇමැතිවරයා කිසිම ක්‍රියාමාර්ගයක් ගත් බව පේන්නේ නැහැ.

සංස්කෘතිය, ඉතිහාසය, අපේ උරුමය රකින්න ඇමැතිවරු ඉන්නවා. අමාත්‍යාංශ තියෙනවා. ඒ අයට තියෙන්නේ මාධ්‍ය හමුවලදී කාන්තාවන්ගේ පුටු හදන්න මිසක් මේ වගේ අතිශයින් සංවේදී පුරාවස්තු විනාශවීම ගැන සොයා බලන්න සිත් පහළ නොවීම ජාතියේම අවාසනාවකි.

මහාවංශයට අනුව එකල විහාරය බුදු සිරිතේ ජාතක කතාවලින් වර්ණ ගන්වා ආලෝකමත් කර තිබූ බව සඳහන් කෙරෙනවා. එය ඔප්පු කිරීමට ඉතිරිව තිබූ තිවංක පිළිමගේ චිත්‍ර අතරින් දේවාරාධනය, දේවා රෝහණය, පුරාවිද්‍යාවේ මහා ඇදුරු විදිහට සලකන සෙනරත් පරණවිතාන මහතාගේ නිබඳ සම්භාවනාවට පාත්‍ර වුණා. එතුමා සඳහන් කරන්නේ සීගිරි චිත්‍ර තරමට වැදගත් වඩාත් දේශීයත්වයට නෑකම් කියන මේවා මහා සිතුවම් සම්ප්‍රදායට අයත් වන බවයි. ද්වාර මණ්ඩපය, අන්තරාලය, ගර්භ ගෘහය ආදි මේ කියන තිවංක පිළිමගේ ඇතුළත හැම තැනම චිත්‍රවලට අව්, වැසි මෙන්ම සුළඟින් දැඩි බලපෑමක් එල්ල වෙනවා.

අපේ උරුමය රකින්න ඉන්න ආයතන විදේශිකයකුගෙන් පොලොන්නරුවේ පුරාවස්තු බලන්න රුපියල් දහ දාහකට ආසන්න මුදලක් අය කරනවා. මේ මුදල් ඇත්තටම මේ සිද්ධස්ථාන රැකබලා ගන්න යොදනවාද කියන ප්‍රශ්නය අපට තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්වරු ගන්න තීන්දු තීරණ ඇමැතිවරයා දන්නේ නැහැ. ඇමැතිවරයා ගන්න තීන්දු තීරණ අධ්‍යක්ෂ ජනරාල්ලා දන්නේ නැහැ.

මේ සිද්ධස්ථානවලින් හම්බ කරන ආයතන මේවා රැකබලා නොගැනීම මහත් ඛේදවාචකයක්. මම තරමක් රෝගීව සිටිමින් වුවද මගේ අතේ වියදමෙන් දින තුනක් පොලොන්නරුවේ නතර වෙලා මේවා සොයා බලා වගකීමකින් යුතුවමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මේ ඓතිහාසික කලාගාරයට සිදුකරන්නට යන අපරාධය ගැන ලෝක උරුම කාර්යාලය දැනුම්වත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම ගොඩනැඟිල්ලට වැහි සුළං හා ආලෝකය ආවරණය කිරීමට ගෝණි පඩංගුවක් හෝ බට පැළැල්ලක් යෙදීමට තරම් ඔවුන්ගේ කාරුණික සිත් යොමු නොවීම කනගාටුවට කරුණක්” යනුවෙන් සමිත හිමියෝ මෙසේද සඳහන් කළහ.

“පනහේ දශකයේ දේවා රෝහණය නමැති චිත්‍රය හොඳින් සුරැකිව තිබුණා. මේ වන විට එය සම්පූර්ණයෙන් විනාශ වෙලා. ඓතිහාසික වටිනාකමක් ඇති දේවාරාධනාව නමැති චිත්‍රයද දැඩි හිරු රැස් පතිත වීම නිසා විනාශයට ලක්වීමේ තර්ජනයට ලක් වෙලා. උත්තුංග මිනිසුන් විසින් නිර්මාණය කළ මෙම කලාගාරය විනාශයට යෑමට ඉඩ දී බලා සිටින බලධාරීන් කරන්නේ අන්තිමට මාධ්‍ය සංදර්ශන පවත්වා අපේ හිස මතට අත සෝදන එක විතරයි.

බලධාරීන්ගේ උනන්දුවක් නැතිවීම කනගාටුවට හේතුවක් වන බවද සමිත හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියෝය.

කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT