Home » කේරළ ගංජා සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹට බෙදාහැරි ප්‍රධාන ජාවාරමෙක් මාට්ටු

කේරළ ගංජා සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹට බෙදාහැරි ප්‍රධාන ජාවාරමෙක් මාට්ටු

by mahesh
April 25, 2024 1:00 am 0 comment

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට කේරළ ගංජා සුඛෝපභෝගී මෝටර් රථයකින් බෙදාහැරීමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවෙකු මරදාන සුද්දගේ වත්තේදී රුපියල් ලක්ෂ 4කට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම සැකකරු සමඟ කේරළ ගංජා කිලෝ 1 ගෑම් 396ක් විද්‍යුත් තරාදියක් සහ ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ 10 ප්‍රදීපා මාවතේ සීයසෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයකු ව්‍යාපාර කටයුතු කරන මුවාවෙන් මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරම සිදු කරන බවට බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් එම පුද්ගලයා සම්බන්ධයෙන් ආවේෂණ රාජකාරී සිදුකර රැස්කර ගත් තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දීමෙන් අනතුරුව සිදු කළ සාර්ථක වැටලීමකදී සැකකරු ගංජා සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පංචිකාවත්තේ නෙවිල් නමැත්තාගේ නාඳුනන පුද්ගලයන් හරහා තමන් වෙත ලබා දෙන මත්ද්‍රව්‍ය මෙලෙස බෙදා හරින බව අනාවරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳාම් කටයුතු සිදු කරන මුවාවෙන් මෙම ජාවාරම කාලයක සිට සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

30 හැවිරිදි සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක බාලසූරිය මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT