Home » සීදූව නගර සභාවේ හිටපු උප සභාපති හෙරොයින් සමඟ මාට්ටූ

සීදූව නගර සභාවේ හිටපු උප සභාපති හෙරොයින් සමඟ මාට්ටූ

by mahesh
May 3, 2024 1:00 am 0 comment

කටුනායක – සීදූව නගර සභාවේ හිටපු උප සභාපති ලලිත් රොහාන් සිල්වා හෙරොයින් සමඟ බඩල්ගම පොලිසිය පෙරේදා (01) අත්අඩංගුවට ගෙන ඇත. දූනගහ පත්තිනි දේවාලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 240ක් සමඟිනි. අවුරුදු 52ක් වයසැති මෙම හිටපු උප සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි.

පොලිසිය පවසන්නේ ඔහු සීදූව ලියනගේමුල්ලේ පදිංචිකරුවෙක් බවය. බඩල්ගම පොලිසියේ නිලධාරින් පිරිසක් ගොඩිගමුව ප්‍රදේශයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටිය දී පරීක්ෂාවට ලක් කළ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකු අත තිබී කුඩු පැකට්ටුවක් හමු වී ඇත. මෙසේ කුඩු පැකට්ටුවක් සතුව තිබූ සැකකරු මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදෙන උක්කුවා නමැති පුද්ගලයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණ වරෙන්තු කිහිපයක් ඇති බවද හෙළි වී ඇත.

අනතුරුව සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඔහුට හෙරොයින් පැකැට්ටුව ලබා දුන් පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි වී ඇත.

එම සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව පොලිසියේ මැදිහත් වීම මත ඔහුට හෙරොයින් මත්කුඩු ලබා දෙන පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී හෙරොයින් පාර්සලයක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ.

දෙවනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කෙරුණු දැනුම් දීම මත අදාළ මත්කුඩු පාර්සලය දූනගහ දේවාලය අසලදී ලබා දෙන බවට දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් ඒ අවට රැකවල් යොදා තිබේ.

රාත්‍රී නවයට පමණ ඒ ස්ථානයට නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කළ පොලිසිය ඔහු සතුව තිබී හෙරොයින් පැකට් තුනක් අත්අඩංගුවට ගෙන ඇත. එම එක් පැකට්ටුවක හෙරොයින් ග්‍රෑම් පහකට වඩා වැඩියෙන් වූ බව පොලිසිය කියයි. සම්පූර්ණ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් දාසයයි මිලිග්‍රෑම් 250ක් බව අනාවරණය වී ඇත.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු පිළිබඳව පරීක්ෂා කිරීමේදී ඔහු කටුනායක සීදූව නගර සභාවේ හිටපු නගර සභිකයකු බව හෙළි වී ඇත. සීදූව ලියනගේමුල්ලේ ස්ථිර පදිංචිකරුවකු වන හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රී ධුරය දරා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කලක සිට මෙම නාගරික මන්ත්‍රීවරයා අයිස් පානය කිරීමට ඇබ්බැහිවූවකු බව ද, ඒ හේතුව නිසා බිරිය දරු දෙදෙනෙකු සමඟ වෙන්ව සිටින බවත් අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා සෙසු දරුවා සමඟ මීගමුව කට්ටුව ප්‍රදේශයේ රුපියල් හැටදහසක කුලියට ලබාගත් නිවසක පදිංචි වී සිටින බවත් හෙළි වී ඇත.

ඔහු හෙරොයින් අලෙවි කිරීම සඳහා පෙලඹී ඇත්තේ ඔහු ඇබ්බැහිව සිටින අයිස් පානය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට බව ද අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා ඊයේ (2) දහවල් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රඳවා ගැනීමේ නියෝගය ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු නාගරික මන්ත්‍රීවරයාට හෙරොයින් සපයා ඇත්තේ මාරවිල පැත්තේ පුද්ගලයකු බවත් ඔහුට ඒවා සපයා ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයට බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු රඳවා ගැනීමේ නියෝග මත රඳවා ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. සෙසු සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා, මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ මහතාගේ මෙහෙයුම යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රසාද්, ප්‍රසන්න, පොලිස් සැරයන්වරුන් වන චන්දෝති, දයාවංශ, පොලිස් කොස්තාපල්වරුන් වන කුමාර ලක්මන් සහ බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වීමේ යෙදී සිටිති.

ගයාන් කුමාර වීරසිංහ, කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT