Home » කුඩු බෙදාහරින මාතර ප්‍රධාන පාසලක වයස 16 සිසුවෙක් මාට්ටු

කුඩු බෙදාහරින මාතර ප්‍රධාන පාසලක වයස 16 සිසුවෙක් මාට්ටු

by mahesh
May 3, 2024 1:00 am 0 comment

– මව-ගණකාධිකාරීවරියක්
– පියා-සාමාන්‍යාධිකාරීවරයෙක්
– ගංජා-හෑෂ් පාසලේ මිතුරන්ට විකුණා ආදායම් හොයලා

මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාතර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක අධ්‍යාපනය ලබන 16 හැවිරිදි වියේ පසුවන සිසුවකු කොටවිල පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිසුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගංජා මිලිග්‍රෑම් 780ක් සහ හෑෂ් මිලිග්‍රෑම් 920ක් ඔහු සතුව තිබී සොයා ගත් බව පොලිසිය කියයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය බෙදාහැර හා අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් 25,000ක මුදලක් ද ඔහු සතුව තිබී සොයාගෙන තිබේ.

කඹුරුගමුව දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ මාතර දෙසට වන්නට ඇති ගල් බැම්ම නම් ස්ථානයේ කොටවිල පොලිසිය විශේෂ වැටලීමක් සිදුකර ඇත. සැක සහිත හැසිරීමක් පෙන්නුම් කළ කඹුරුගමුව, ගුණසේකර මාවතේ පදිංචි දහසය (16) හැවිරිදි මෙම සිසුවාව පොලිසිය එහිදී පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී ඔහු සතුව හෑෂ් සහ ගංජා තිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙම මත්ද්‍රව්‍ය භාවිතයට ද හුරු වී සිටින්නෙකි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා වෙත නිර්නාමිකව ලද පෙත්සම් කීපයකට අදාළව ලද උපදෙස් මත කොටවිල පොලිසිය මඟින් මෙම ප්‍රදේශයේ මෙම වැටලීම කර ඇති බව පැවසේ.

සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ පාසල නිම වී නිවෙස බලා යන අතරතුර මාතර දුම්රියපොළ පාරේදී හමුවන පුද්ගලයකුගෙන් තමාට මෙම මත්ද්‍රව්‍ය ලැබෙන බවය. එම පුද්ගලයාගෙන් රුපියල් හාරදහසක් වටිනා කේරළ ගංජා මිලිග්‍රෑම් පන්දහසක් හෙවත් ග්‍රෑම් පහක් සහ රුපියල් දහසක් වටිනා හෑෂ් කැබලි දහයක් මිලදී ගන්නා බව ද ඔහු පොලිසියට පවසා ඇත.

එම කේරළ ගංජා ග්‍රෑම් පහ පැකට් දහයකට සකස් කර දෙකක් තම පාවිච්චියට තබාගෙන ඉතිරි පැකට් අට, එකක් රුපියල් පන්සීයක් බැගින් අලෙවි කරන බව සිසුවා පැවසුවේ යැයි පොලිසිය කියයි. හෑෂ් අලෙවිය ද මෙලෙසම සිදු කරන බවත් ඒ තුළින් ලාභයක් ද උපයා ගන්නා බව ඔහු පොලිසියට පවසා ඇත. ඔහු මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ පාසලේ තම මිතුරන්ට බව ද සැකකරු පවසා ඇත.

මෙම සැකකරු පවුලේ එකම දරුවා වන අතර, මව ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක ගණකාධිකාරිවරියකි. පියා පෞද්ගලික සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු බවත් පැවසේ.

පරීක්ෂණ කටයුතු කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරන මහතා ඇතුළු පිරිසක් සිදු කරති.

තෙලිජ්ජවිල සමූහ වජිර පූජිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT