Home » කොල්ලුපිටියේදී කෝටියේ අල්ලස් සිද්ධියට පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

කොල්ලුපිටියේදී කෝටියේ අල්ලස් සිද්ධියට පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

by mahesh
May 3, 2024 1:00 am 0 comment

කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙකි.

සැකකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලස් ලෙස ලබා ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නි‍වස පරීක්ෂා කර පැමිණිලිකරුට අයත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් සහ ඩොලර් 3500ක මුදලක් සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි.

එලෙස රැගෙන ගොස් තිබුණේ එම පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව කියමින් බව පොලිසිය කියයි. පසුව පැමිණ සැකකරුවන් එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ගොස් තිබිණි.

අනතුරුව පැමිණිලිකරුට දුරකතනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි හතරක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එකී මුදලින් රුපියල් කෝටියක අල්ලස් ලෙස ලබාගෙන තිබිණි.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සිව්දෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැරයන්වරයා සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තවද සැකකරුවන් විසින් රැගෙන ගිය රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලින් රුපියල් ලක්ෂ දාසයක මුදලක් ද පොලිසිය විසින් සොයා ගැනීමට සමත් වී ඇත.

වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්ත තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT