Home » රඹුක්කන කතක් ජලභීතිකාවෙන් ජීවිතක්ෂයට 

රඹුක්කන කතක් ජලභීතිකාවෙන් ජීවිතක්ෂයට 

by mahesh
May 3, 2024 1:00 am 0 comment

බල්ලකු වම් අතේ ඇඟිල්ලක් සපා කෑමෙන් ජලභීතිකාව සෑදී කාන්තාවක් පෙරේදා (01) මිය ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය පැවැසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ රඹුක්කන, අසෝකපුර, අංක 42 නිවෙසේ පදිංචිව සිටි 61 හැවිරිදි පස්යාල ආචාරිගේ චන්ද්‍රාවතී නමැති එක් දරු මවකි. ඇයට පිරිමි දරුවෙක් සිටින බවත් එම දරුවා ඔහුගේ බිරිය, දරුවන් සමඟ මහගෙදර පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවැසීය. මෙම කාන්තාව වසරක පමණ කාලයක සිට නිවෙසේ මීටර් 300ක් පමණ ඈතින් තනිවම පදිංචිව සිටින අවිවාහක වයෝවෘද්ධ කාන්තාවකගේ තනි නොතනියට රාත්‍රි කාලයේ ගොස් පසුදා යළි නිවෙසට පැමිණෙන බවත් පොලිසිය පැවැසීය.

මීට මාස දෙක හමාරකට පමණ ඉහතදී දිනක පෙරවරුවේ වයෝවෘද්ධ කාන්තාවගේ නිවෙසේ සිටියදී බලු පැටියෙක් එම නිවෙසට පැමිණ ඇති බවත්, ‘එම බලු පැටවා ලස්සනයි හදා වඩා ගැනීමට හොඳයි’ යැයි පවසා ඇය විසින් බලු පැටවා අල්ලා ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව නිවෙසේ හිමිකාරිය වෙළෙඳසලට යන බව පවසා පිටව ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී ඇය බලු පැටවා නෑවීමට ගිය විට වම් අතේ ඇඟිල්ලක සපා කා පැනගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව කාන්තාවට කෑම සහ ජලය පානය කිරීමට නොහැකිවී ඇති අතර ඇති වූ අසනීප තත්ත්වය හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවැසීය. කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා (01) මියගොස් ඇති බව පොලිසිය කියයි.

මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය බණ්ඩාරගේ සංජය බණ්ඩාර විසින් සිදු කරන ලද අතර, බල්ලකු සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැලදී සිදු වූ මරණයක් බවට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය. එහිදී හදිසි මරණ පරීක්ෂකවරිය මිය ගිය තැනැත්තියගේ පිරිමි දරුවාට කියා සිටියේ මිය ගොස් ඇති මවට කිසිම අසනීප තත්ත්වයක් නොමැති බවත් ජලභීතිකාව පමණක් සෑදී මරණය සිදුව ඇති බවත්ය. මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ (02) රඹුක්කන දී සිදු කිරීමට නියමිතව තිබුණි.

රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් ලලිත් (46709) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය.

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT