ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේදී ඉකුත් (17) වන දින තරුණයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමට තැත්කර පලාගිය සැකකරුවන් දෙදෙනකු පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හට සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණය අසල රැඳී සිටින බවට ලද තොරතුරක් මත එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 990 ප්‍රමාණයක් හා මනුෂ්‍ය ඝාතනය කිරීම සඳහා යොදාගත් තියුණු කඩුවක් මෙන්ම ඝාතනය සැලසුම් කිරීම සඳහා යොදාගත් ජංගම දුරකතනයක් සමඟ (24) වන දින අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකාර පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පළමු සැකකරු සන්තකයේ මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 160ක් සහ දෙවන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 830 සොයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට පමණ ආසන්න බවත් පොලිසිය පවසයි.
ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි උදාර ඩයස් නමැති (22) වැනි වියේ පසු වූ තරුණයාට ඉතා කෲර ආකාරයෙන් තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකොට ඝාතනය කිරීමට උත්සහ දරා පහර දීමෙන් පසු ඇද වැටුණු උදාරණ නමැත්තා මියගිය බව සිතා සැකකරුවන් දෙදෙනා පලා ගොස් තිබූ බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
තරුණයාට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය සිදු කිරීමට තැත් කිරීමට හේතුව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයින් තිදෙනාම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන වැල්ලේ සාරංග නමැත්තා විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියේ සාමාජිකයින් බවත් කල්ලිය තුළ මත්ද්‍රව්‍ය විකිණීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් හා ආරවුලක් මත මෙම පහරදීමේ ක්‍රියාව සිදුකොට ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් 23 හා 21 වැනි වියේ පසුවන එක් සැකකරුවෙකු හේනමුල්ල කඳවුර, කොළඹ 15. ප්‍රදේශයේ සහ අනෙක් සැකකරු මෙත් සඳ සෙවණ නිවාස සංකීර්ණය කොළඹ 15 යන ලිපිනයන්හි පදිංචිකරුවන් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් බවත් පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා සිටින පුද්ගලයා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා මෙම තියුණු ආයුධය හා ජංගම දුරකතනය තවත් ඝාතන හෝ අපරාධ සිදුකිරීමට යොදා ගෙන ඇත් ද යන වග පිළිබඳව සොයා බැලීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදු කරන බවත් පොලිසිය පවසයි.
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනා (24) වන දින සවස අධිකරණයට ඉදිරිපත් කොට දින 07ක රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන හා පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හා පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතාගේ ඍජු අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ ඒකකයේ උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.