Home » ජ’පුර සරසවිය ළඟ නිවෙසකින් කෝටි 40ක කුඩු දැලේ

ජ’පුර සරසවිය ළඟ නිවෙසකින් කෝටි 40ක කුඩු දැලේ

by mahesh
May 3, 2024 1:00 am 0 comment

– ධාන්‍ය උරවල දමා කුඩු බෙදන ජාවාරමාගෙන් තොරතුරු හෙළි වෙයි
– සැකකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සමාගමක සේවය කරලා

ධාන්‍ය ආහාර කවර තුළ සඟවා මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන ජාවාරමක් හෙළි කරගත් පොලිස් විශේෂ කාර්ය බළකාය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති කුලී නිවෙසක් වටලා බෙදාහැරීමට සූදානම් කර තිබුණු රුපියල් කෝටි 40කට අධික වටිනාකමක් ඇති හෙරොයින්, හෑෂ්, කොකේන් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සමඟ සැකකරුව පෙරේදා (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වන ඉසුරු සඳරුවන් නොහොත් කපිල නමැත්තා විසින් මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවන බව විමර්ශනවලින් හෙළි වී තිබේ. රුක්මලේ පදිංචිකරුවකු වන එම මත්කුඩු ජාවාරම්කරුගේ මෙහෙයවීමෙන් සිදුකරන මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන බෙදාහරින්නා වන රුක්මලේ පදිංචිකරුවකු වන එලියාදුරගේ වාසනා සමන්ත ප්‍රනාන්දු (51) නමැත්තාව රුක්මලේ පන්සල පාර හන්දියේදී පෙරේදා (01) හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 230ක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරම ගැන තොරතුරු අනාවරණය වී තිබේ. සුඛෝපභෝගි මෝටර් රථයක ධාන්‍යමය ආහාර අඩංගු ඇසුරුමක දමා මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බළකාය මෝටර් රථය පරීක්ෂා කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකුට අයත් බව කියන ව්‍යාපාරික ස්ථානයක මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාස හයක කාලයක් රැකියාවක නිරතව සිටියකු බව ද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. ඒ හැරුණුකොට ඔහු මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමකට සම්බන්ධව රක්ෂණ නියෝජිතයකු ලෙස ද කලක් සේවයේ නිරතවූවකු බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත නුගේගොඩ ගංගොඩවිල ගල්හේන පාරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආසන්න ස්ථානයක පිහිටි දෙමහල් නිවෙසක පහළ මහල දැඩි පරීක්ෂාවකට ලක්කර ඇත. එහි තිබී හෙරොයින් කිලෝ 12යි ග්‍රෑම් 103ක් ද හෑෂ් කිලෝ 06යි ග්‍රෑම් 395ක් ද කොකේන් ග්‍රෑම් 326ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ. ඒ හැරුණුකොට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියැවෙන මුදල් රුපියල් ලක්ෂ 15ක් ද සොයාගෙන ඇත.

මෙම නිවෙස රුපියල් 40,000ක මාසික කුලියකට මෙම සැකකරු විසින් ලබාගෙන තිබී ඇති බවත් එහි ඉහළ මහලේ පදිංචිව සිටින්නේ කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක ක්‍රීඩා උපදේශක යුවළක් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

මෙම නිවෙස වසර දෙකක් තිස්සේ මෙම සැකකරු කුලියට ගෙන මත්කුඩු සැඟවීම සඳහා යොදාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ. නිවෙස කුලියට ගත් දින සිට එහි මෙම ජාවාරම්කරු රාත්‍රී කාලයේ ගතකර නැති බවත් දහවල් කාලයේදී මත්ද්‍රව්‍ය බොදාහැරීම සඳහා පමණක් මෙම නිවෙසට පැමිණ සිට ඇති බවත් හෙළිවී ඇත.

මෙම මත්කුඩු තොගය සොයා ගැනීමෙන් අනතුරුව කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත රුක්මලේ පන්සල පාරේ පිහිටි නිවෙසක්ද වටලා පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී යමුනා ප්‍රියදර්ශනී නමැති කාන්තාව කොකේන් ග්‍රෑම් 213ක් සමඟ ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත. ඇය අවුරුදු 45ක් වයසැති තැනැත්තියක බව පොලිසිය කියයි. මෙම ජාවාරම්කරු සහ කාන්තාව මත්කුඩු තොගයත් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.

විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීහු වැටලීමට එක් වූහ.

ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT