මැණික්හින්න රෝහලේ ගැටුම සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී. ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
ඇප මත මුදාහරින ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.සී.කේ. වීරපාන මහතාට මෙම මස 08 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද දිසා විනිසුරුවරිය දැනුම් දුන්නාය.
ඇස්වලට පෙට්‍රල් වැටීම නිසා පසුගිය 28 වැනි දින රෝහලට රැගෙන එන ලද තරුණයකුට ප්‍රකිකාර ලබාදෙන අවස්ථාවේ දිස්ත්‍රික් වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු බීමතින් සිටින බවට රෝගියා සමඟ පැමිණි පිරිසක් ප්‍රශ්න කිරීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති විය.
මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව්දෙනකු හා රෝගියා සමඟ පැමිණි කණ්ඩායමේ හය දෙනකු මැණික්හින්න හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනකු හා අනෙක් පාර්ශ්වයේ තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සහ තෙල්දෙණිය දිසා විනිසුරුවරිය පියවර ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියත් ඒ වන විට ඔහු නිල නිවෙසින් පිටව ගොස් තිබූ අතර ඊයේ (02) නීතිඥයකු මඟින් පොලිසියට පැමිණ භාර වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා විසින් පත් කළ කමිටුව මඟින් ලබාදුන් වාර්තාව පදනම් කර ගනිමින් දිස්ත්‍රික් වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර මැණික්හින්න රෝහලේ වැඩ ආවරණය කිරීමට වෛද්‍යවරයකු යොමු කර තිබේ. මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරෙයි.