Home » මුහුණුපොතෙන් දැක ස්පා රස්සාවට ආ තරුණියට මැනේජර් කරදර කරන්න හදලා

මුහුණුපොතෙන් දැක ස්පා රස්සාවට ආ තරුණියට මැනේජර් කරදර කරන්න හදලා

කොස්සෙන් ගහලා - බෙල්ලත් විකලා

by mahesh
May 3, 2024 1:00 am 0 comment

දැන්වීම් ප්‍රචාරය සඳහා මුහුණු පොත ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් වන විට එය භාවිත කරමින් සිදු කරන අයථා ක්‍රියාකාරකම්වල වර්ධනයක්ද දක්නට ඇත්තේ අසරණ තරුණ ජීවිතවලට තර්ජනයක්ද වෙමිනි.

රැකියා සොයමින් සිටින තරුණ තරුණියන් මුහුණු පොත ඔස්සේ රැවටීමට ලක් කර විවිධ අපචාර ක්‍රියාවලට යොදවාගැනීමත්, ලබාදෙන තොරතුරු ඔස්සේ වැරදි අවබෝධයන් තුළින් එලෙස පැමිණෙන තරුණ පිරිස් වැරදි ක්‍රියා සඳහා පොලඹවා ගැනීමට උත්සහ කරද්දී ඊට විරුද්ධ වන විට තාඩන පීඩනවලට ලක් කිරීමත්, පහර දී තුවාල කිරීමත්, බිය පත් කර වැරදි ක්‍රියා සඳහා යොදවාගැනීමත් ඉතා සූක්ෂ්ම අයුරින් සිදු කරන අලුත්ම සිදුවීමක් වාර්තා වූයේ පසුගිය කම්කරු දිනයදා මාතර තල් අරඹ ප්‍රදේශයෙනි.

විදේශගත පුහුණුවකට ගොස් සිටි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත නැවත මෙරටට පැමිණ සේවයට පැමිණ දින දෙකක් ගත වද්දී ලෝක කම්කරු දිනය යෙදී තිබූ පෙරේදා (1) සවස ලැබුණු හදිසි තොරතුරකින් කියවුණේ මාතර තල් අරඹ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තරුණියකට එහි කළමනාකරු අතවර කරමින් පහර දෙමින් පීඩාවට පත් කරමින් සිටින බවකි. අදාළ තරුණිය කළමනාකරුට ඇති බිය නිසාම පොලිසියට පැමිණිලි නොකරන බවත්, තරුණියට එළියටවත් බැසීමට ඉඩ නොදී කළමනාකරු ඇය එහි සිර කරගෙන සිටින බවත් ඒ තොරතුරේ සඳහන් විය.

මේ තොරතුර ඔස්සේ වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත, කාන්තා පොලිස් සැරයන් 276 නිමාලි, පොලිස් කොස්තාපල් 79473 චන්ද්‍ර කුමාර, පොලිස් කොස්තාපල් (රියැදුරු) 80473 වසන්ත යන නිලධාරීන් සමඟ තල්අරඹ ප්‍රදේශයට ගොස් සම්බාහන මධ්‍යස්ථානය වටකර විමර්ශනයට ලක් කරද්දී තොරතුරේ සඳහන් තරුණිය එහි වේදනාවෙන් සිටිනු දැක ඇය පිළිබඳ ඉක්මනින් සොයා බැලුවාය. එහිදී පෙනී ගියේ ඇයගේ හිසෙහි, පාදයේ මෙන්ම ගෙල ප්‍රදේශයේද තුවාල සිදුව ඇති බවයි. සම්බාහන මධ්‍යස්ථානය හිමිකරු ලෙස පෙනී සිටිමින් තරුණිය තල්අරඹ සම්බාහන මධ්‍යස්ථානයට කැටුව ආ තැනැත්තා එහි හැබෑම අයිතිකරු නොවන බව තරුණිය එහිදී හඳුනාගෙන ඇත. එය වෙනත් යුවළකට අයත් ස්ථානයක් බවත් තරුණිය රැගෙනා ආ තැනැත්තා එහි කළමනාකරු පමණක් බවත් තරුණිය හඳුනාගෙන ඇති අතර, තරුණියට නවාතැන් ගැනීමටද සිදුව ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයේම කාමරයකය. කළමනාකරුද එහි වෙනත් කාමරයක සිට ඇත.

එලෙස සිටියදී පසුගිය 17 දාත් 21 දාත් අතර දිනක රාත්‍රියේ සම්බාහන මධ්‍යස්ථානයේ පිටත ශබ්දයක් ඇසී තරුණිය බියට පත්ව නැඟිට කළමනාකරුටද කතා කර සොයා බලද්දී කළමනාකරු විසින් තරුණිය බලහත්කාරයෙන් සිප වැලඳගෙන විවිධ අයථා ක්‍රියා සිදු කිරීමට උත්සාහ කරද්දී ඇය එයට තදබල ලෙස විරුද්ධ වී කාමරයට ගොස් ඇති අතර යළිත් එහි පැමිණි කළමනාකරු ඇය ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගත්තේය.

එලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමෙන් පසු කළමනාකරු අවස්ථා කීපයක්ම ඇය හා ගත කිරීමට පැමිණියත් තරුණිය ඊට විරුද්ධ වී කෑගැසීම හේතුවෙන් කොසු මිටක් ගෙන තරුණියගේ හිසට සහ පාදයකට පහර දී ඇති අතර, ගෙල ප්‍රදේශයද සපා කෑමකටද ලක් කර ඇත. කොසු මිටි පහර වැදීමෙන් හිස සහ පාදයේ ගෙඩිගැසීම් දක්නට ලැබුණු අතර, සපා කෑම හේතුවෙන් ගෙල ප්‍රදේශයට තුවාල සිදුව තිබිණි.

සියලු තොරතුරු අනාවරණය කරගත් පොලිසිය තරුණිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කළ අතර, පොලිසිය පැමිණෙන විට සම්බාහන මධ්‍යස්ථානයේ නොසිටි එහි කළමනාකරුට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතත් ඊයේ (2) සවස් වන විටත් ඔහු පොලිසියට පැමිණ නැත.

“මුහුණු පොතේ දැන්වීම්වලට අහු වෙලා තරුණ තරුණියන් අමාරුවේ වැටෙන තවත් එක් අවස්ථාවක් මේක. මේවා ගැන වැඩිහිටියන් අවධානයෙන් ඉන්න ඕනෑ. මේක මහා ප්‍රශ්නයක් වේගෙනයි එන්නේ. ඒ නිසා අවධානයෙන් ඉඳලා මේ වගේ ජාවාරම්කාරයන්ට අහු නොවෙන විදියට වැඩ කරන්න කියලයි කියන්න තියෙන්නේ…” උසස් පොලිස් නිලධාරියෙක් අප හා පැවසීය.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි (ප්‍ර.පො.ප) වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT