Home » අලි පන්නන්න ඉඩමට ගිය කෘෂි නිලධාරියා සර්ප දෂ්ටනයකින් මියයයි

අලි පන්නන්න ඉඩමට ගිය කෘෂි නිලධාරියා සර්ප දෂ්ටනයකින් මියයයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

නිකවැරටිය - ගයන්දි පමෝධා

සර්පයකු දෂ්ට කිරීමෙන් කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරියකු එම ස්ථානයයේම මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව සිටියේ කොටවෙහෙර මහ කිරින්ද ලිපිනයේ පදිංචි ගිරිල්ල ගොවිජනසේවා මධ්‍යස්ථානයට අනුයුක්තව කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරියකු ලෙස රාජකාරි කළ එච්.එම්. සුරේන්ද්‍ර හේරත් (50) නමැති දෙදෙරු පියෙකි. පදිංචි නිවෙසේ සිට කි.මී. දෙක හමාරක් පමණ නුදුරින් නිකවැරටිය පොලිස් වසමේ හීන්තඹල ප්‍රදේශයේ පිහිටි මරණකරුට අයත් අක්කර හතරක පමණ වූ වගා ඉඩම වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විදුලිය පහන් දැල්වීමට පෙර දින රාත්‍රියේ ගිය අවස්ථාවේ මේ අනතුර සිදුව ඇත.

මරණකරුගේ 50 වැනි උපන් දිනය පෙරේදාට (1) යෙදී තිබී ඇති අතර, බිරිය රාත්‍රි කෑම පිස, වගා බිමට ගිය සැමියා එන තුරු බලා සිටින අවස්ථාවේ රාත්‍රි 8.30ට පමණ මරණකරුගෙන් දුරකතන ඇමතූමක් ලැබී තිබේ. එහිදී ඔහු කෙඳිරි ගාමින් කතා කර ඇති අතර, නිවැසියන් වහා එම ස්ථානයට ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

නිවැසියන් යතුරුපැදිවලින් ඒ ස්ථානයට යන අවස්ථාවේ කකුලේ ලේ ගලන තුවාලයක් සහිතව මරණකරු වගා බිම වැටී සිට ඇති බවත්, පසුව රෝහල්ගත කිරීම සඳහා සුව සැරිය ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර මොහු මරණයට පත්ව ඇති බව දන්වා ඇති බවත්, පසුව හදිසි මරණ පරීක්ෂණය සඳහා සිරුර නිකවැරටිය මූලික රෝහල වෙත රැගෙන ආ බවත් පොලිසිය සඳහන් කරයි.

නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය ඊයේ (2) සිදු කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT