Home » ඔලිම්පික් එල්ලයට පළමු වෙඩි මුරය

ඔලිම්පික් එල්ලයට පළමු වෙඩි මුරය

by mahesh
May 3, 2024 1:00 am 0 comment

නදීෂා රාත්‍රි 7.15ට
යුපුන් රාත්‍රි 7.50ට
තරුෂි-ගයන්තිකා රාත්‍රි 9ට

අද ඩුබායි ධාවන පථයේ

පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇති ඩුබායි ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලිය අද ඩුබායි පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක් මේ ශූරතාවලියට එක්ව සිටින අතර, ලොව ප්‍රබල මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඔවුන් සමඟ තරග බිමට පිවිසෙති. ඩුබායි ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්වන දක්ෂතා ඔලිම්පික් පරිසාධන මට්ටම වෙත ළඟාවීමට හොඳම අවස්ථාවක් බැවින් මේ ශූරතාවලිය කෙරෙහි විශාල අවධානයක් යොමුව පවතී.

නදීෂා රාමනායක මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.15ට තරග බිමට පිවිසෙන අතර, කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව නියෝජනය සඳහා රාත්‍රි 7.50ට ධාවන පථයට පිවිසේ. මීටර් 800 තරගය සඳහා එක්වන ආසියානු ශූරී තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 9ට ඩුබායි ධාවන පථයේදී එම ඉසව්ව ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ආසියානු ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීෂා රාමනායක පසුගියදා පැවති පුහුණු තරගාවලියේදී තත්පර 53.22කින් මීටර් 400 නිම කළ අතර, පැරිස් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 50.95ක් වේ. ඇය මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ 52 වැනි ස්ථානයේ සිටියි. නදීෂා 2023 වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතාවලියේදී තත්පර 52. 61ක දක්ෂතාවක් දැක්වූවාය.

පසුගියදා ඉතාලියේ පැවති ෆ්ලොරන්ස් ස්ප්‍රින්ට් උලෙළේදී මීටර් 150 ඉසව්ව තත්පර 15.90කින් නිම කළ ධාවන ශූර යුපුන් අබේකෝන් සිය ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමට නම් පරිසාධන මට්ටම වූ තත්පර 10කින් තරගය නිමා කළ යුතුය. ඔහු පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී වසර 24කට පසු ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කමක් හිමිකර දෙමින් තත්පර 10.14කින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. මෙයට වසර 2කට පෙර ස්ව්ට්සර්ලන්තයේ පැවැති තරගයකදී තත්ත්පර 9.96ක දක්ෂතාවක් දක්වා ඇත.

ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සහ මීටර 800 කාන්තා ඉසව්වේ හිටපු ජාතික ශූරී ගයන්තිකා අබේරත්න ආසියානු ක්‍රීඩා උලෙළින් පසු ප්‍රධාන තරගයකදී හමුවන පළමු අවස්ථාව වේ. ඔවුන් දෙදෙනාම ඉලක්ක කරන්නේ ශ්‍රී ලාංකේය කාන්තාවක් මෙතෙක් වාර්තා නොකළ මිනිත්තු 1: 59.30ක සෘජු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටමය.

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 800 සඳහා ස්ථාන 48ක් ඇති අතර, ඉන් ස්ථාන 27ක් සුදුසුකම් ලැබීමේ ප්‍රමිතීන් සපුරාලන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහවුරු කොට තිබේ. ඉතිරි ස්ථාන 21 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තෝරා ගැනීමට නියමිතය. ගයන්තිකා අබේරත්න එම ශ්‍රේණිගත කිරීම්වල 62 වැනි ස්ථානයේ පසුවන අතර ඇය එම ස්ථානය වැඩිදියුණු කර ගැනීමට උනන්දු විය යුතු වේ.

පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උලෙළ, ආසියානු ශූරතාව සහ ආසියානු කනිෂ්ඨ ශූරතා ජයග්‍රහණය කළ ද තරුෂි කරුණාරත්න තවමත් එම ශ්‍රේණිගත ලැයිස්තුවට ඇතුළත් වී නැත.

කෙසේ වුවද ලෝක මලල ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම උදෙසා ජුනි මස 30 වැනිදා දක්වා අවස්ථාව ඉතිරිව ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT