ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලී සබ්රි සහ සෞදි අරාබියානු ආයෝජන ඇමැති කාලිඩ් අල් ෆලියා මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත.
සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව,වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට සහභාගි වීම සඳහා සවුදි අරාබිය බලා පිටත්ව ගිය විදේශ කටයුතු ඇමැතිවරයා සමුළුවට සමගාමීව මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය 27දා සිට 29දා තෙක් සවුදි අරාබියේ රියාද් නුවර දී පැවැති සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා සවුදි අරාබියේ නිල සංචාරයක නිරත විය. සවුදි අරාබියානු විදේශ කටයුතු ඇමැති ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සහ ලෝක ආර්ථික සමුළුවේ සභාපති බොජ් බ්‍රෙන්ඩේ මහතා විසින් ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයාට මේ ආරාධනාව සිදුකර තිබේ. මේ සංචාරයේ දී විදේශ කටයුතු ඇමැතිවරයා “උතුරෙන් දකුණට,නැඟෙනහිර සිට බටහිරට: විශ්වාසය යළි ගොඩනැඟීම සහ නාගරික අනාගතය ගොඩනැගීම යන මාතෘකාවෙන් යුත් සාකච්ඡා දෙකකට සහභාගි විය. Òනාගරික අනාගතය ගොඩනැඟීමÓ මැයෙන් පැවති සංවාද කතිකාවට එක්වෙමින් ඇමැති අලී සබ්රි මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පරිවර්තන සන්ධිස්ථානයක සිටින බවත් සංවර්ධනයේ මීළඟ අදියරේ දී නාගරීකරණයේ දී ආයෝජකයන්ට එය මහඟු අවස්ථාවක් දෙන බවත්ය. මීට සමගාමීව, විදේශ කටයුතු ඇමැතිවරයා රැස්වීමේ සත්කාරක රටවන සවුදි අරාබිය ඇතුළු රටවල් කීපයක නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වා තිබෙන අතර ඇමැතිවරයා රියාද් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවිය. ඊට අමතරව එහි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල නැරඹීමට එක්විය.