ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ඉකුත් අගෝස්තු මස 24 වැනිදා සිට තහනම් කරනු ලැබූ නීතිවිරෝධී තහනම් පිරමීඩ යෝජනා ක්‍රම 8කින් හතරක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව, බීකොයින් ඇප් නොහොත් සන්බර්ඩ් ෆවුන්ඩේෂන්,ෆාස්ට් වින් පෞද්ගලික සමාගම,‘ෆෘගෝ ඔන්ලීන්“ පෞද්ගලික සමාගම සහ ජෙනිසීස් බිස්නස් ස්කූල් නොහොත් එරා මිරකල් පෞද්ගලික සමාගම යන ආයතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු හා රක්ෂණ නිරාවරණ දෙපාර්තමේන්තුව විසින් අනෙකුත් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම හතර ලෙස නම් කරනු ලැබ ඇති ඉසිමේජ් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම, ලෙජර බ්ලොක්, කියුනෙට් සහ රයිට් ටු ත්‍රි ෆ්‍රීඩම් පුද්ගලික සමාගම යන ආයතන සම්බන්ධයෙන් නුදුරු දිනයේදීම අධිකරණයට කරුණු වාර්තා කිරීමට සූදානම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මහ බැංකුව විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස නම් කරනු ලැබ තිබූ ‘එරා මිරකල් පෞද්ගලික සමාගමේ ජෙනිසීස් ව්‍යාපාරික පාසල නමින් නීති විරෝධී තහනම් පිරමීඩ ගනුදෙනු පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන්ගෙන් රුපියල් මිලියන 800කට අධික මුදලක් වංචා කළැයි කියන එම අධ්‍යාපන ආයතනයේ හිමිකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇත. ඒ අනුව එලෙස විදෙස් ගමන් තහනම් නිකුත් වූයේ කුරුණෑගල ඉබ්බාගමුවේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ ධම්මික කුමාර රණසිංහ නමැත්තාය.
මේ තැනැත්තා අදාළ පාසලේ හිමිකරු වන අතර ආචාර්ය උපාධියක් සහිත පුද්ගලයකු වශයෙන් පෙනී සිටිමින් කටයුතු කර දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන්පත්කරුවන්ගෙන් රුපියල් මිලියන 786,846,316.00ක මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
‘ෆෘගෝ ඔන්ලීන්“ පෞද්ගලික සමාගම නමින් සමාගමක් ලියාපදිංචි කර නීති විරෝධී ලෙස රුපියල් කෝටි ගණනින් පිරමිඩාකාර ගනුදෙනු කළැයි කියන එම සමාගමේ අධ්‍යක්ෂවරයාගේ සහ ලේකම්වරියගේ විදෙස් ගමන් තහනම් කරමින් ද අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇත.
මෙලෙස විදෙස් ගමන් තහනම් කර ඇත්තේ මනම්පිටිය,පොළොන්නරුව පදිංචි එදිරිසිංහ ආරච්චිලාගේ එරන්ද දිල්ෂාන් සමරජීව (25) සහ වලස්මුල්ල මාතර පදිංචි වතුහේවාගේ හංසිකා සෙව්වන්දි (23) යන අයගේය.