Thursday, May 15, 2025
Home » විජයදාසගේ වාරණයට එරෙහි අතුරු තහනම පනවනවාද නැද්ද තීන්දුව 7 වැනිදා

විජයදාසගේ වාරණයට එරෙහි අතුරු තහනම පනවනවාද නැද්ද තීන්දුව 7 වැනිදා

by mahesh
May 3, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව මෙම මස 07 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීරණය කළේය.

එම වාරණ නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කරන ලදි.

එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා හමුවේ කැඳවන ලදි. එම අවස්ථාවේදී පෙත්සමෙහි වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ දිසාධිකරණය ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව ද එම පෙත්සම සම්බන්ධයෙන් නොතීසි වගඋත්තරකාර පාර්ශ්වයට ලබා දීමට කටයුතු කළ බව ද ඒ මහතා සඳහන් කළේය. පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

එහිදී වගඋත්තරකාර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අවින්ද රුද්‍රිගු මහතා ද වගඋත්තරකාර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කළේය. වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරා ද සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සමඟ තමන් එකඟ වන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම් මඟින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම පිළිබඳ නියෝගය කල් තැබීමට තීරණය කළේය.

දිසාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කළ ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT