Home » ජගත් පරිසර දින ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් සිංහරාජයේදී

ජගත් පරිසර දින ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් සිංහරාජයේදී

by mahesh
May 3, 2024 1:00 am 0 comment

කේ. ඒ. සුනිල් - කුරුවිට

සෑම වසරකම ජුනි මස 5 වැනි දිනට යෙදී තිබෙන ජගත් පරිසර දින මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය මේ මස 30 වන දින සිට ජුනි මස 5 වන දින දක්වා රත්නපුර සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.ජී. කුමාරගම මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ ඉකුත්දා (30) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් හා දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අතිරේක ලේකම්වරිය මෙවර ජගත් පරිසර දිනයේ තේමාව “පලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණක් “ යන්නයි. කොළඹින් පිට ප්‍රදේශයක ජගත් පරිසර දින සැමරුමක් පවත්වන්නේ වසර හයකට පසු ප්‍රථම වතාවටයි. මේ සතිය පුරාවටම දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. දේශගුණික විපර්යාසවලට හුරුවීම, ජීවී විශේෂ වඳවීයෑම අවම කිරීම,ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීම, පිරිසුදු පානීය ජල අව්‍යශතාව ඉහළ නැංවීම, පරිසර හිතකාමී ලෙස පරිසරය වැඩි දියුණු කිරීම, මෙවර සතියේ ප්‍රධාන අරමුණු වෙනවා. ඒ අනුව මැයි 30 වැනිදින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත්, 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජුනි 1 වැනි දින ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත්, ජුනි 2 වැනි දින ජෛව විවිධත්ව සංවර්ධන දිනය ලෙසත්, ජුනි 3 වන දින පරිසරය පවිත්‍ර කිරීමේ දිනය ලෙසත්, ජුනි 4 වැනි දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත්, ජුනි 5 වැනි දින රුක් රෝපණ දිනය හා ජගත් පරිසර දින ප්‍රධාන සැමරුම් උත්සව දිනය ලෙසත් නම් කර ඇති බවද ඇය පැවසුවාය.

මෙහිදී පළාත් පාලන හා පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසුවේ කොළඹින් පිට ප්‍රදේශයක ප්‍රථම වතාවට මේ සැමරුම් උත්සව පැවැත්වීමට හැකිවීම සතුටට කරුණක් බවයි. ඒ සඳහා ජනාධිපති සිය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කර ඇති බව ද මේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව ද රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT