මේ වසරේ මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ පොල් ආශ්රිත නිෂ්පාදන හා අපනයනය ආදායම් පිළිබඳ මාසික වාර්තාව කියයි.
මේ වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා වෙත පසුගියදා භාර දෙනු ලැබීය.
එම වාර්තාව අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාවට මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි. 2023 මාර්තු මාසය හා සසඳන විට මේ ප්‍රමාණය සියයට 29ක වර්ධනයකි.
පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය 2023 වරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32ක ඉහළයෑමකි.
පොල් කිරි අපනයනයෙන් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා ඇති අතර මාර්තු මාසයේ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 49ක ඉහළයෑමක් බව පොල් සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.
දිසිදි පොල් අපනයනය මගින් මේ වසරේ මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසයේ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි. එහි වර්ධනය සියයට 30කි.
මීට අමතරව පිටි කළ පොල් කිරි අපනයනය ද පසුගිය මාසයේ ඉහළ ගොස් ඇත. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1587කි. අපනයනය කරන ලද පිටි කළ පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1153ක් වන අතර එය 2023 මාර්තු මාසය හා සසඳන කළ සියයට 93ක වර්ධනයකි.
පොල් ක්‍රීම් අපනයනය ද පසුගිය මාර්තු මාසයේ දී ඉහළ ගොස් තිබේ. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1,390කි.අපනයනය කරන ලද පොල් ක්‍රීම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,619කි. එම ප්‍රමාණය 2023 මාර්තු මාසය හා සසඳන විට සියයට 88ක වර්ධනයක් පෙන්නුම් කරයි. පොල් තෙල් අපනයනය ද ඉහළ ගොස් ඇති අතර එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 539කි. පොල්තෙල් මෙට්‍රික් ටොන් 767ක් අපනයනය කර ඇති අතර එහි වර්ධනය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 84කි.
සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළයෑම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බව ද මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනය ඉහළයෑම මගින් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකිවීම මෙරට ලැබු ජයග්‍රහණයක් බව ද පොල් සංවර්ධන අධිකාරිය මේ වාර්තවේ සඳහන් කර ඇත.