Home » පෞද්ගලික ආරවුලකට පොලිසිය කුඩු නඩුවක් දමලා: විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

පෞද්ගලික ආරවුලකට පොලිසිය කුඩු නඩුවක් දමලා: විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

මහාධිකරණ විනිසුරුගෙන් පොලිසියට අවවාද

by mahesh
May 3, 2024 1:00 am 0 comment

හෙරොයින් ග්‍රෑම් 11කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ නඩු පවරනු ලැබූ විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පෞද්ගලික ආරවුලක් මත කතන්දරයක් ගොතා චූදිතට එරෙහිව පොලිසිය බරපතළ චෝදනාවක් හඳුන්වා දී ඇති බව ප්‍රකාශ කළේය.

වැටලීම කළ ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක රත්නායකගේ සාක්ෂියේදී වැටලීමට අත් විලංගුවක් රැගෙන නොයෑමට හේතුව ලෙස එය භාවිත කිරීමට වුවමනා වුවහොත් නිලධාරියකු යොදවා එය ගෙන්වා ගැනීමට හැකියාව තිබූණු බව පැවසීම හාස්‍යජනක කාරණයක් බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

අමතක වීමක් නිසා අත් විලංගුවක් රැගෙන නොයෑම සිදුවිය හැකි දෙයක් වුවත් පොලිස් ස්ථානය ආසන්නයේ තිබෙන නිසා එය රැගෙන නොගියේ බර දෙයක් නිසාදැයි ප්‍රශ්න කර සිටියේය.

මෙයට අමතරව පොලිසිය ප්‍රකාශ කරන වැටලීම සඳහා පෞද්ගලික වාහන යොදා ගත්තේ ඇයිදැයි දැක්වීමට සාක්ෂිකරු අසමත් වූ බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ඒවා සඳහා වැය වන මුදල් සිය පෞද්ගලික දීමනාවලින් ගෙවන බව පැවසීම සැකයට භාජනය කළේය. වැටලීම්වල සාර්ථකත්වය මත ඒ සඳහා ලබා දෙන තෑගි මුදල් දීම සිදු වන්නේ වැටලීම්වල සාර්ථකත්වය මත බැවින් දැනටමත් සන්තකයේ නැති මුදලක් ලැබේ යන විශ්වාසය මත පොලිසිය වැටලීම් කිරීම ගැන විමතිය පළ කළේය.

මේ කාරණය විත්තිකරු සාක්ෂි කූඩුවේ සිට කළ ප්‍රකාශයේ සඳහන් මහමඟදී පොලිස් නිලධාරීන් සමඟ ඇතිවූ වචන හුවමාරුවකට පළිගැනීමක් වශයෙන් හෙරොයින් චෝදනා යටතේ නඩු පවරා ඇති බවට විත්තිකරු කළ ප්‍රකාශය සමඟ සලකා බැලීම කළේය.

වැටලීම සඳහා පිටත්වීම, අත්අඩංගුවට ගැනීම යන කිසිම කාරණයකට අදාළ වේලා සටහන් පොත්වල දක්වා නොතිබීම ගැන අවධානය යොමු කළ මහාධිකරණය විනිසුරුවරයා අනුමාන කළ වේලාවන් අනුව පැමිණිල්ල කතන්දරයක් ගොඩනඟා ඇතැයි ප්‍රකාශ කළේය.

2018 වසරේ දෙසැම්බර් මස ගල්කිස්ස කල්දෙමුල්ල පාරේ ගමන් ගත් තැනැත්තකු පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 11.032ක් ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව පන්නිපිටිය ආරච්චිගේ දිනේෂ් නිශාන්ත නමැති විත්තිකරුට එරෙහිව 1984 අංක 13 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනතේ 54 (අ) වගන්තිය යටතේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ. 2020 වසරේ ඔක්තෝම්බර් 5දා නීතිපතිවරයා විසින් අධිචෝදනා 4ක් යටතේ විත්තිකරුට එරෙහිව චෝදනා පත්‍ර භාර දී ඇත. රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ අසිත විපුලනායක විත්තිය වෙනුවෙන් පෙනී සිටින ලදි.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT