Home » අවුරුදු 2ට අඩු ළමුන්ට ජංගම දුරකතන සුදුසු නැහැ

අවුරුදු 2ට අඩු ළමුන්ට ජංගම දුරකතන සුදුසු නැහැ

-ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස

by sachintha
May 7, 2024 2:13 am 0 comment

දියුණු රටවලට තිබෙන සම්පත් අපට නැහැ

නූතනයේ මානසික රෝග හා ඊට ගොදුරු වූවන්ගේ තත්ත්වය වෙනස්

ළමයාගේ අනවශ්‍ය ඉල්ලීම් ඉවත දැමිය හැකි තැනක මවුපියන් සිටීම ඉතා වැදගත්

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ අන්තර්ජාතික දිනය ඉකුත්දා (30) යෙදිණ. වාර්ෂිකව ලොව පුරා බිලියන 1.3කට වැඩි පිරිසක් කායික හිංසනවලට ගොදුරු වන විට, දකුණු ආසියාතික රටවල් අතුරෙන් ඒ තත්ත්වය පිටුදකින්නට මූලිකත්වය ගත් මුල්ම රට වශයෙන් මෙරට කතාබහට ලක් වෙයි. එහෙත් තවමත් මෙරටින් ළමා, තරුණ හිංසන සිදුවීම් විටින් විට වාර්තා වන විට, ඉකුත්දා රජය ළමා හිංසනවලට අදාළ නීති දැඩි කිරීමටත් කටයුතු කරන ලදි. එසේම, ලොව පුරා හිංසනයට ලක් වීමෙන් දරුවන් 41,000ක් ඝාතනය වන වගත් අන්තර්ජාතික දත්ත වාර්තා හෙළි කරයි. එමෙන්ම හිංසනයේ කායික බලපෑම්වලට වඩා අඩු සැලකිල්ලක් එහි මානසික බලපෑම් කෙරෙහි යොමු වන බවත් සැබෑවකි. අපි ඒ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ, රාගම, වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතාගෙන් වැඩිදුරටත් විමසමු.

මුලින්ම ළමයා සහ ළමා මනස පිළිබඳ පැහැදිලි කර දෙන්න?

ඒක පැති ගණනාවකින් විස්තර කරන්න පුළුවන්. නීතියට අනුව උපතේ සිට අවුරුදු 12 පමණ වන තෙක් ඒ යටතට ගැනෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව උපතේ පටන් අවුරුදු 10 පමණ වන තෙක් සැලකෙනවා. එසේම, ජීවන අවදි 4ක් යටතේ එය තවදුරටත් විස්තර කළ හැකියි. එහි පළමුවැන්න, උපතේ පටන් අවුරුදු 2 තෙක් වන, සංවේදන සංජානන අවදියයි. මොළය දියුණු වන මෙකල නැළවිලි ගී, සිප වැලඳ, වඩා ගැනීම්, ඇසට ඇස බැලීම්, විවිධ පාට බලන්නට සැලැස්වීම්, සෙල්ලම් භාණ්ඩ ආදියෙන් ලැබෙන පරිචය ඉතා වැදගත් වෙනවා. දෙවනුව, දෙවසරේ පටන් අවුරුදු 7 දක්වා පූර්ව ක්‍රියාකාරී සංජානන අවදිය යෙදෙනවා. මෙකලදී පරිකල්පනයට යොමු වීම වඩාත් පෙනෙන්නට තියෙනවා.

සොබාදහම, සතුන්ට ජීවත්වය ආරෝපණය ආදියෙන් අලුතෙන් විචිත්‍ර කතා, නිර්මාණ ගොතන්නට මේ වයසේ ළමුන් වැඩි කැමැත්තක් පෙන්වනවා. සාමූහික ක්‍රීඩා, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුළින් මෙකල ලොකු මෙහෙයක් මානසික වර්ධනයට සැලසෙනවා. තෙවැන්න අවුරුදු 7 සිට 12 දක්වා අවදියයි. එය මූලික ක්‍රියාකාරි සංජානන අවදියයි. එකල විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට, ගණිත සූත්‍ර, බර, උස, පරිමිතිය ආදියට සේම තාර්කික ඥානය දියුණු කර ගැනීමට වැඩි පෙලඹුමක් දක්නට පුළුවන්. එසේම ප්‍රාථමික පාසල් අවදිය වන මෙකල, ගුරුවරුන්ට ඇහුම්කන් දීම, මූලික අධ්‍යාපන කුසලතා වර්ධනය කර ගැනීම ආදියට වැඩි නැඹුරුවක් දක්වනු පෙනෙනවා. ඉන් පසුවයි, එහි සිවුවැනි අවදිය වන පූර්ණ ක්‍රියාකාරි අවදිය යෙදෙන්නේ. මෙකල සුවිශේෂයි. දකින, අසන දෙයට වඩා වැඩි යමක් එකල සොයන්නට පෙලඹෙනවා.

එහෙමනම්, අපේ අධ්‍යාපනයෙන් ඒ කාලවකවානු ආවරණය වෙනවාද?

ඒක සාපේක්ෂයි. අපිට දියුණු වෙනත් රටවල තරම් සම්පත් නැහැනේ. එහෙම බලද්දී අපි ඉන්න තැන ගැන තරමකට සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඉන් රටක් විදිහට සෑහීමට පත් වෙන්න බැහැ. නිදසුනකින් පැහැදිලි කරනවා නම්, අපි 3 ශ්‍රේණියේ ගණිතය පාඩම් පොත ගමු. එහි අන්තර්ගතය තීරණය කිරීම ඉතා භාරධුර වගකීම්සහගත කාර්යයක්. ඒ වගේම ඒ පිළිබඳ ඉගැන්වීමේදීත් ග්‍රාමීය මට්ටමේ නම් එහි ජීවත් වන ළමුන්ගේ මනස පිළිබඳ පශ්චාද් උපාධිධාරි ගුරුවරුන් සිටීමත් වැදගත්. ඒත් අපේ රටේ එහෙම වෙන්නේ හරි අඩුවෙන්නේ.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්වතුන්ගේ උපදෙස් ගැනෙනවාද?

එහෙම නොවෙනවා කියන්න බැහැ. පුද්ගලිකව මට පවා එවැනි ආරාධනා ලැබෙනවා. හැකි පමණින් ඊට සම්බන්ධ වෙනවා. ඒත් බොහෝ විට ඊට වැඩි වේලාවක් වෙන් කළ නොහැකි වීමේ ගැටලුව තියෙනවා. ඒ තත්ත්වය මට පමණක් නොවෙයි තවත් බොහෝ අයටත් එය එසේමයි. මෙරට ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍යවරුන් 5යි දැන් ඉන්නේ. ඉතින්, ඒ විෂයයට අදාළව ඉගැන්වීම්, ප්‍රතිකාර කිරීම් ආදී වැඩ කටයුතු අපට බොහොමයි. ඉතා දුර බැහැර සිට කොළඹ සායනයට එන රෝගීන් සිටිනවා. ඒ අයව හරවා යවන්න බැහැනේ. ලොකු වෙනස්කම් කෙටි කාලෙකින් කරන්න අමාරු වෙන්න ඒකත් හේතුවක්.

අපේ රටේ පර්යේෂණ කොතැනද තියෙන්නේ?

ඒවා නොකෙරෙනවා නොවෙයි. ඒත් ජාතික තලයේ තීන්දු තීරණවලට වැදගත් වන අයුරින්, මං කලින් කිව්වා වගේ පුළුල් පරාසයක් අරන් පර්යේෂණ වෙන්නේ අඩුවෙන්. ඒ වෙනුවට නියැදියක් අරන් ඒ ඇසුරෙන් හෙළිවන දත්ත ඇසුරෙන් තීන්දු තීරණවලට එළැඹෙන ගතිය තවම වැඩිපුර තියෙනවා. බිම් මට්ටමෙන් විශාල මුදලක් රටක පර්යේෂණ සඳහා වෙන්විය යුතු වුවත් ඊට එතරම් මුදලක් වෙන්කිරීමට ඇති අපහසුව නිසාදෝ තවම පර්යේෂණවලට ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් වෙනවා අඩුයි.

අද ළමුන්ට දෙන දඬුවම් ගැනත් ලොකු කතාබහක් තියෙනවා?

දිගුකාලීනව පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙයි කියා අදහසක් වැඩිහිටියන් තුළ තියෙනවා. ඒත් ඒක එහෙමම නොවෙයි. නිදසුනකින් පැහැදිලි කරනවා නම්, කුඩා සහෝදරියට පහර දෙන ලොකු ළමයකුට පහර දීමෙන් ඔහු ඒ ක්‍රියාවෙන් වළක්වා ගත්තත්, ඒ තැනැත්තාම අවුරුදු 15 වයසේදී ගැහැනු ළමයකුට විහිළු කළ වරදට ඒ දඬුවම දෙන්න බැහැනේ. ඒත් සමහර වැඩිහිටියන් තවදුරටත් ඒ විදිහටමයි කටයුතු කරන්නේ. ඒත් ඒ වෙනුවට හිංසාවෙන් තොර චර්යාත්මක විධි ක්‍රම ඇසුරෙන් වැඩිහිටියන්ට පිළියම් සෙවිය හැකියි. උදාහරණයක් විදිහට, බාල සොහොයුරියට නිතර පහර දෙන ළමයාට, ඒ වරද කළොත් දින 2ක් ඔහු ප්‍රිය කරන කාටූන් නැරඹීමට නොදෙන බවට පැවසිය හැකියි. ඒ ඔස්සේ තරවටුවෙන් තොරව ළමුන්ගේ හිත් රිදවීම් අවම වන අයුරින් කටයුතු කළ හැකියි.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් ඇසුරෙනුත් විවිධ ඛේදවාචක වාර්තා වෙනවා නේද?

ඔව්. ඒ බොහෝ දෙනකු ලොකු පීඩාවකින් ඉන්නේ. නවකවදය විතරක් නෙවෙයි, ආදර සම්බන්ධකම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකම්, පවුල් ප්‍රශ්න, ආර්ථික අපහසුතා ආදී බොහෝ පීඩාවන් ඔවුන් තුළ තියෙනවා. ආවේගශීලි ගති වඩාත් ප්‍රකටව මේ නිසා මතු වී එන්න පුළුවන්. මනෝ උපදේශකවරුන් සරසවිවල සිටියත් ඒ ඉතා අඩු ගණනක්. ඒ සමහරු දේශකවරුන් විදිහටත් කටයුතු කරන නිසා කාර්යබහුලයි.

අනෙක, අපේ ආකල්ප. අපි කොණ්ඩා රැවුල වැවුණු, අපිළිවෙළ, විකාර රූපයක් දරන්නෙක් තමයි මානසික රෝගියෙක් විදිහට සිතින් මවාගෙන ඉන්නේ. ඒත් නූතනයේ ඒක එහෙමම නොවෙයි. නූතනයේ මානසික රෝග හා ඊට ගොදුරු වූවන්ගේ තත්ත්වයත් වෙනස්. අපි අතර අද කොතෙකුත් පවුල් ජීවිත ගත කරන, පොදු ප්‍රවාහනය භාවිත කරන, හොඳින් ඇඳ පැලඳගෙන සිටින නමුත් මානසික වශයෙන් විශාදය, කාන්සාව ආදී මානසික රෝගවලින් පෙළෙන තැනැත්තන් කොතෙකුත් වෙනවා. ඒත් ලැජ්ජාව ආදී කරුණු නිසා ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ නැහැ. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926කෙටි දුරකතන අංකයෙන් පුහුණු හෙද නිලධාරින් මඟින් දවසේ පැය 24 පුරා එවැනි මානසික පීඩා ඇත්තන්ට සෞඛ්‍ය උපදෙස් ලැබිය හැකියි. ඒත් එවැනි දෙයටත් ඇතැමුන් යොමු වෙන්නේ නැහැ.

මෙරට සිවිල් යුද්ධයෙන් පසුව, භූමිය එකතු වුණත් තවම හදවත් එකතු වී නැහැයි විද්වතුන් කියනවා?

ජයග්‍රාහකයා, පරාජිතයා දෙදෙනා තුළ නිතර ඇති වන ආවේණික හැඟීම් තියෙනවා. උතුරු නැ‍ඟෙනහිර බොහොමයක් ජනයා තුළ යුද්ධයත් සමඟ එවැනි පරාජිත හැඟීමක් විය හැකියි. මහ ජාතිය දිනිය යුතු වගත් සුළු ජාතිය පරාජයට පත් විය යුතු බවටත් හැඟීමක් ඇතිව අපි ජීවත් වෙනවා නම් අපිට ඒ අයත් එක්ක එකතු වෙන්න බැරි වෙනවා. අනෙක, අපි ජයග්‍රාහකයන් කියන ආකල්පයෙන් ඒ අය දිහා බලනවා නම් අපිට ඔවුන්ගේ හැඟීම්, ආකල්ප වටහා ගත නොහැකියි. එය එසේ වන තාක්කල් එහි සැබෑ ගැටලුව හඳුනා ගැනීමටත් ඉඩක් ලැබෙන්නේ නැහැ.

අපේ සමාජය මෙකල කලබලකාරියි, ආවේගශීලියි කියලා සමහරු කියන්නේ?

ආවේගශීලි, කලහකාරි ගති පැවතුම් ඉබේම හට ගන්නේ නැහැ. ඒවා ප්‍රකට කිරීමට බලපාන හේතු කාරණා තියෙනවා. අපි මුලින් ඒ ගැන දැන සිටීම වැදගත්. සරලව තීරණ ගැනීම ගැන කියනවා නම්, අපේ මොළයේ පද්ධති දෙකක් ගැන කතා කළ හැකියි. ඒ එකක් අපේ සිතිවිලි මොළය, අනෙක, හැඟීම් මොළය. ඒ හරහා තරහව, ආවේගය ඇති කරනවා. එහෙම එකිනෙකට වෙනස් ප්‍රතිචාර තමයි මේ දෙකොටසින් දක්වන්නේ. ඉකුත් කාලයේදී උපදෙසක් දුන් තරුණයකුට හෙල්මට්වලින් පහර දී ඝාතනය කළ බාලවයස්කරුවන් පිරිසක් ගැන ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණා. එයින් ප්‍රකටව පෙනුණේ සිතිවිලි මොළය ඉක්මවා හැඟීම් කොටස ක්‍රියාත්මක වීමයි. ඒක එහෙම වෙන්න බලපාන කාරණා තියෙනවා. විශේෂයෙන් පවුල් පරිසරයේදී දරුවකු දකින්නේ මවුපියන්ගේ නොඉවසිලිවන්තකම නම් ඒක ළමයාගේ චර්යාවටත් එකතු වෙනවා. අඬදබර බහුල නිවෙස්වල ජීවත් වන ළමුන් වැඩිවියට පත් වෙත්ම ඒ ගති ප්‍රකට කිරීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඒ අනුව වෙනදාට වඩා නව යොවුන් තැනැත්තන් ආදීන් කලහකාරි වෙන්නත් පුළුවන්. ඒත් එවිට එක්වරම ඊට ප්‍රචණ්ඩත්වයෙන්ම පිළිතුරු දීමට වැඩිහිටියන් නොපෙලඹිය යුතුයි. නව යොවුන් අය එරෙහිවීම් කරන්නේ වැඩිහිටියන්ට ගෞරවයක් නැතිකමින්ම නොවන වගත් වැඩිහිටියන් වටහා ගැනීම වැදගත්.

ජනමාධ්‍ය ගැනත් කතා නොකරම බැරි තැනකට ඇවිත්?

ආදායම් සෙවීම නූතනයේ මෙරට ජනමාධ්‍ය ආයතනවල ප්‍රධාන අරමුණක්. ඒ ගමනේ ඉදිරියට යන විට සමාජ යහපතට වඩා ඉපයීමයි ඔවුන් සලකන්නේ. ඉක්මනින්ම ජනප්‍රිය වීමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. ජනප්‍රිය දේ හොඳ දෙයමද කියන ගැටලුව එතැනදී ඉස්මතු වෙනවා. මෙරට වගේම පිටරටත් එහෙම මාධ්‍ය නාළිකා ඕනෑ තරම් තියෙනවා. හැබැයි, මහජනතාවට නිතර දැනුම දෙන නාළිකා නැතුවාම නොවෙයි. ඒත් ඒවා එතරම් ආකර්ෂණීය නොවන නිසා වැඩි ජනතාවක් ඒ වටා නැහැ. හැබැයි කෙටිකාලීනව ලාභ නොලදත් කල්යත්ම ජනතාව හොඳ නාළිකා වටා එක්රොක් වෙනවා. ඒ නිසා රටකට එවැනි නාළිකා තිබිය යුතුයි.

විදත් තිර රතු එළි පෙන්වන තැනකට ඇවිත්?

අවුරුදු 2ට අඩු වයස්වල ළමුන්ට කොහොමටවත් ජංගම දුරකතන ආදී විද්‍යුත් තිර සුදුසු නැහැ. කුඩා දරුවන් ඇහැරිලා නම් ඒ නිවෙසේ වැඩිහිටියන් ප්‍රවෘත්ති නැරඹීමත් හොඳ දෙයක් නොවෙයි. අවුරුදු 2-5 වයස්වල ළමුන්ට අධ්‍යාපන කටයුතු සඳහා වුවත් පැයකට අඩු කාලයකට එය සීමා කළ යුතුයි. ෆෝන් එක දුන්නාම ආපහු ළමයාගෙන් ගන්න අමාරුයි කියලා සමහරු කියනවා. කවා ගන්න ඒක නැතුව බැරි වගත් සමහර අම්මලාගෙන් අහන්න ලැබෙනවා.

ඒත් ඒක පිළිගන්න අමාරුයි. ෆෝන් එක වෙනුවට කතාවක්, කවියක් කියා දීලා නළවා ගන්න, කවා ගන්න හුරු කර ගන්නවා නම් එතැන මෙතරම් අවදානමක් නැහැ. ඇඬීම ළමුන්ගේ ස්වභාවයක්. හැඟීම් පිට කිරීමක් එතැන තියෙන්නේ. ඇඬීමෙන් පසුව නැළවී දරුවා ආපහු සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒකට පිළියමක් විදිහට විද්‍යුත් තිර ළමයාට දීම අනුමත කරන්න බැහැ. අද සමාජය වෙනස්. මත්ද්‍රව්‍ය පවා වේගයෙන් පැතිරෙනවා. ඊට ජංගම දුරකතන ආදිය බෙහෙවින් උපයෝගි කර ගැනෙන නිසා මවුපියන් බෙහෙවින් පරිස්සම්සහගත විය යුතු වෙනවා. ඒ අනුව ළමයාට මිත්‍රශීලි වීමත්, ළමයාට සමීපව එහෙත්, ළමයාගේ අනවශ්‍ය ඉල්ලීම් ඉවත දැමිය හැකි තැනක මවුපියන් සිටීමත් ඉතා වැදගත්.

නුවන් මහේෂ් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT