Home » ප්‍රශ්නවලට උත්තර මැයි 10ට පෙර නැතිනම් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට පෞද්ගලිකව උසාවියේ පෙනී සිටින්න නොතීසි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව

ප්‍රශ්නවලට උත්තර මැයි 10ට පෙර නැතිනම් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට පෞද්ගලිකව උසාවියේ පෙනී සිටින්න නොතීසි

by sachintha
May 7, 2024 5:24 am 0 comment

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලෝබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව එම ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් කැඳවූ වාර්තා මැයි 10 වන දිනට පෙර ලබා නොදෙන්නේ නම් එකී වාර්තාව සමඟ පුද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රමාදයට හේතු දක්වන ලෙස මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (06) නියෝග කළාය.

මෙම ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා ඇතැම් කරුණු සනාථ කර ගැනීමට අවශ්‍ය බැවින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රශ්නාවලියක් යොමු කළ බවත් මෙතෙක් එයට පිළිතුරු ලබා නොදුන් බැවින් එම ප්‍රමාදයට හේතු දැක්වීමට අධිකරණයේ පෙනී සිටීමට ඔහුට නොතීසි නිකුත් කරන ලෙසත් නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

විමර්ශකයන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියට ඔහු සම්පූර්ණයෙන් පිළිතුරු ඉදිරිපත් කර නොමැති බවත්, ලබන මැයි මස 10 වැනිදාට ප්‍රථම ඊට අදාළ පිළිතුරු ලබා නොදෙන්නේ නම් පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට ඔහුට නියෝග කරන ලෙසත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මැයි 10 වන දිනට පෙර ප්‍රශ්නාවලියට පිළිතුරු නොදෙන්නේ නම් එකී වාර්තාව සමඟ පුද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රමාදයට හේතු දක්වන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එලෙස නියෝග කළාය.

එසේම, මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හරින ලද ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද රසායනාගාරයක පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු සපයන ලද හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් හා රිටෝප්ක්සි මැප් යන නියමිත උෂ්ණත්ව යටතේ ගබඩා කර ඇති ඖෂධ මාත්‍රා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද රසායනාගාරයක පරීක්ෂාවකට යොමු කිරීම අවශ්‍ය බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ උපදෙස් මත අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ අසේල විජේසිංහ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙරට විශේෂඥ වෛද්‍ය කමිටු මඟින් කරන ලද පරීක්ෂණ තුළින් එම ඖෂධ ප්‍රමිතියෙන් තොර ඖෂධ බවට අනාවරණය වී ඇති බැවින් මේ ආකාරයේ විශේෂ රසායනාගාර පරීක්ෂාවකට එම ඖෂධ එන්නත් මාත්‍රා යොමු කිරීම අවශ්‍ය බව ද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධියේ එකොළොස්වන සැකකරු වන ඇගැයීම් කමිටු සාමාජික ලෙස කටයුතු කළ වෛද්‍ය තුසිත සුදර්ශන් යන අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අධිකරණ නියෝග අනුව විශේෂ පංච පුද්ගල කමිටු වෛද්‍ය වාර්තාවක් ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.

එම වෛද්‍ය වාර්තා තුළින් එකොළොස්වන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවධානමක පවතින තත්ත්වයක් බවට සනාථ කර ඇති බැවින් ඔහුට සුදුසු ඇප කොන්දේසි මත ඇප නියම කරන ලෙස මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව, එකොළොස්වන සැකකරු ජීවිත අවධානම් තත්ත්වයක පසුවන හෘද රෝගියෙක් බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය වාර්තාවක් මඟින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔහුව ඇප මත මුදා හැරීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළාය.

සෑම මසකම පළමු සහ අවසන් ඉරු දින උදෑසන 9 – 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද ඇප නියෝගයක් නිකුත් කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කර එය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යැවීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලෝබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි ඊයේ (06) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන අයවලුන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු බන්ධනාගාරය මඟින් ඊයේ (06) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර, මෙහි පස්වැනි සැකකරු ඇප මත සිටිමින් පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මෙහිදී විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නාය.

ඒ අවස්ථාවේ දී පළමු සැකකරු වන ඖෂධ සමාගම් හිමිකරු වන සුදත් ජනක් ප්‍රනාන්දු, හතරවන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරි නෙරාන් ධනංජය, අටවන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දහවන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් නැවත ඇප ඉල්ලීම් සිදු කළහ.

මෙහි සැකකාර සමන් රත්නායක යන අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් අසාධ්‍ය බවත් ඔහුට එම් ආර් අයි පරීක්ෂණයක් පවා සිදු කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවත්ය. ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබුවත් ඔහුට ඇතිවී තිබෙන හෘද රෝගී තත්ත්වයට එහිදී ප්‍රතිකාර නොලැබෙන බවත් ඔහුට විශේෂඥ වෛද්‍ය සහාය අවශ්‍ය වන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම තම සේවාදායකයා සෞඛ්‍ය සේවා අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළා මිස වෙනත් කිසිදු වරදක් නොකළ බවත් විමර්ශකයින් අවශ්‍ය යැයි කියූ සියලු ලේඛන ලබා දී ඇති බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින ලෙසට අධිකරණයට දීර්ඝ ලෙසින් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් විමර්ශනය කරමින් පසුවන බවය.

පළමු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයාට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් මේ ආකාරයට ගියහොත් මෙරට කිසිදු අයකු ලංකාවට අලුතින් බෙහෙත් නිපදවා ඉදිරිපත් නොකරන බවත්ය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ අලුතින් බෙහෙත් නිපදවීමට මෙම සැකකරුට කිසිවකු හෝ අවසර ලබා දී නොතිබුණු බවය.

සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අදාළ ඇප ඉල්ලීමට ලිඛිත දේශන ගොනු කර ඇති බව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළ අතර, ඊට අදාළ විරෝධතා ඇත්නම් ඉදිරි දිනයේදී ගොනු කරන ලෙසට අධිකරණයෙන් පැමිණිල්ලට නියම කළේය.

මෙම සැකකරුවන්ට ඇප ප්‍රදානයට ප්‍රමාණවත් වන සුවිශේෂි කරුණු නැති බැවින් ඉදිරි නඩු වාරය දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මෙහිදී සිය පිළිතුරු දේශනය සිදු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් අටදෙනා මැයි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුල්ට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන යන අයවලුන් මෙම නඩුවේ සැකකරුවෝ වෙති. එමෙන්ම මෙම සිද්ධියේ පස්වැනි සැකකරුවන සෞඛ්‍ය අමාත්‍යාංශ තොග පාලන සුජිත් කුමාර යන අය ඇප මත සිටින අතර මෙම නඩුවේ නව වන සැකකරු ලෙස නම් කර සිටින වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මේ වන විට විදෙස් ගතව සිටියි.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT