Home » පිරිවෙන් භික්ෂූන්ට ගිහි සිසුන්ට-සිල් මාතාවන්ට උසස් පෙළ තාක්ෂණ සිසුන්ටජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන් 2ක්

පිරිවෙන් භික්ෂූන්ට ගිහි සිසුන්ට-සිල් මාතාවන්ට උසස් පෙළ තාක්ෂණ සිසුන්ටජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන් 2ක්

by sachintha
May 8, 2024 1:03 am 0 comment

අයදුම්පත්‍ර-උපදෙස් පත්‍රිකාව 10 වැනිදා ගැසට්ටුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහාද 2024 මැයි සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක් වන අතර, රට පුරා පිහිටි පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතන 822ක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ යටතේ එක් පිරිවෙනකට/ සීල මාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 6කි. ඒ අනුව පරිවේණාධිපති හිමි/ ආයතනාධිපති විසින් තම පිරිවෙනට/ සීල මාතා අධ්‍යාපන ආයතනයට අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගත යුතුය. කාණ්ඩ දෙකක් යටතේ මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර, මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5,000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3,000 බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහාද, දෙවැනි කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000 බැගින් මාස 24ක් සඳහාද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙන් ලබාගත හැකි අතර, අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව 2024.05.10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.

මේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගිහි පැවිදි ශිෂ්‍යත්ව අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද තම අයදුම්පත්‍රය 2024 මැයි 22 දිනට පෙර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති වෙත පමණක් භාරදිය යුතු අතර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපතිවරුන් විසින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛන ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමට හැකි වන පරිදි කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙත එවනු ඇත.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහාද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් දෙනු ලබන අරමුදල් මඟින් ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහයෝගය මත ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ ශිෂ්‍යත්ව වැඩසටහනද සියලු අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ යටතේ කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් පිරිනැමීමට සැලසුම් කර ඇත.

මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6,000 බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලැබේ. මේ ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලු විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund යන නිල Face Book ගිණුමෙහි හා www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, මේ සම්බන්ධ තොරතුරු විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේද පළ කිරීමට කටයුතු කර ඇත.

මේ ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරිමට සුදුසුකම් සහිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024 මැයි 22 හෝ ඊට පෙර ඍජුවම ජනාධිපති අරමුදල වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. එසේම මේ අයදුම්පත හා උපදෙස් පත්‍රිකාවද 2024.05.10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT