Home » මෙරට රුසියානු තානාපති කාර්යාලය අවට ගැවසෙන කණ්ඩායමක්
කුලී හේවායන් යුද්ධයට යවන්නේ

මෙරට රුසියානු තානාපති කාර්යාලය අවට ගැවසෙන කණ්ඩායමක්

by sachintha
May 8, 2024 2:21 am 0 comment

මෙරට හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබළු කුලී හේවායන් ලෙස රුසියාවට රැගෙන යෑමේ ජාවාරමට මෙරට රුසියානු තානාපති කාර්යාලය අවට ගැවසෙන කණ්ඩායමකගේ සම්බන්ධයක් ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. රුසියානු හමුදා කඳවුරුවල සේවයට යැයි කියා මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් විශාල වැටුප් ලබාදෙන බව සඳහන් කර රුසියාවට රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ යොදවා තිබීම සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එසේ රුසියානු හමුදාවේ කුලී හේවායන් ලෙස යොදවා සිටින ශ්‍රී ලංකික හමුදා පවුල්වල සාමාජිකයන් පිරිසක් සමඟ ගාමිණී වලේබොඩ මහතා මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබීය. මේ බව මන්ත්‍රීවරයා අනාවරණය කරනු ලැබුවේ එහිදීය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙලෙස රුසියාව බලා පිටත්ව යන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් යුද්ධය සඳහා යෙදවීමෙන් පසු ඒ අය ගැන තොරතුරු පවා ඥාතීන්ට නොලැබෙන බවය.

මුදල් ඉපැයීමේ අරමුණින් රුසියාවට ගිය පිරිස අද වන විට රුසියානු කුලී හමුදාවට බඳවාගෙන ඔවුන්ගේ ජීවිත අනතුරුදායක මට්ටමට පත්ව තිබෙන බව ද එම කණ්ඩායමට අයත් පවුල්වල සාමාජිකයන් 25ක 30ක පමණ පිරිසක් ඊයේ (07) විදේශ අමාත්‍යාංශය වෙත ගොස් තමන්ගේ දුක ලිඛිතව ඉදිරිපත් කළ බව ද මන්ත්‍රීවරයා කීය. ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් මෙම දුග්ගැනැවිල්ල ඉදිරිපත් කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විමසූ පසුව ඔවුන් මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති බවට සඳහන් කරන්නේ යැයි ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඒ අවට ගැවසෙන කණ්ඩායමක් මේ ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත් නොවන බව ද මන්ත්‍රීවරයා චෝදනා නැඟීය.

මෙහිදී රුසියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික හමුදා සෙබළකුගේ ඥාතියකු අදහස් දක්වමින් මෙහිදී පෙන්වා දුන්නේ තම සොහොයුරා මාස දෙකකට පෙර රුසියාව බලා පිටත්ව ගිය නමුත් මේ දක්වා කිසිදු තොරතුරක් නැති බවය. කුඹුර සහ ට්‍රැක්ටරය උකස් කොට රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා ඔහු රුසියාවට ගිය බව ද එම ඥාතියා පැවසීය. නාවික හමුදාවේ සේවය කොට විශ්‍රාම ලබා රුසියාවට ගිය තම ස්වාමියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තාවක සඳහන් කළේ පසුගිය මාර්තු 18 වැනිදායින් පසුව කිසිදු තොරතුරක් නැති බවත් අද වන විට තමා සහ දරුවන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත්ය.

මේ පිළිබඳව සියලු තොරුතුරු ඇතුළත් සම්මුඛ සාකච්ඡාවක් 04 පිටුවේ පළවේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT