Home » මහ බැංකුවේ 2023 වසර අලාභය 2022ට වඩා අඩුයි

මහ බැංකුවේ 2023 වසර අලාභය 2022ට වඩා අඩුයි

by sachintha
May 8, 2024 2:31 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුව වසර 2022දී ලැබූ රුපියල් බිලියන 374.3ක ශුද්ධ අලාභයට සාපේක්ෂව වසර 2023දී රුපියල් බිලියන 114.4ක ශුද්ධ අලාභයක් වාර්තා කොට ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ලාභ ලැබුවා ද අලාභ ලැබුවා ද යන්න කතිකා කිරීමට වඩා වැදගත් වන්නේ එක් එක් වර්ෂයක් තුළ මහ බැංකුව මඟින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණවලින් රටට අත්වූ වාසි අවාසි විමසා බැලීම බව ද අධිපතිවරයා සඳහන් කළේය.

ස්ථීරසාර ස්ථායීතාව මැයෙන් කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයේ ඊයේ (07) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවට ශුද්ධ අලාභයක් වාර්තා වීමට බලපෑ මූලික හේතු ඉතා විද්‍යාත්මකව පැහැදිලි කළ අධිපතිවරයා වසර 2022දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුළු වත්කම රුපියල් බිලියන 4510.4ක් බව කීය. එය 2023දී රුපියල් බිලියන 305කින් එනම් පෙර වසර වඩා සියය 6.1කින් අඩු වී රුපියල් බිලියන 4205.4ක් වී ඇතැයි කීය.

මෙම පහත වැටීමට මූලික වශයෙන් හේතු වූයේ දේශීය මූල්‍ය වත්කම්වල රුපියල් බිලියන 1022.5ක සැලකිය යුතු අඩු වීම බව ද අධිපතිවරයා පැහැදිලි කළේය. දේශීය ණය ප්‍රශස්තකරණයේ (DDO) ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් ශේෂයන් සහ රජයට දෙන ලද කාලීන අත්තිකාරම් දිගුකාලීනව භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කිරීමට ප්‍රධාන වශයෙන් වත්කම් අඩු වීමට බලපා ඇත.

දැනට පවතින රුපියල් බිලියන 2368.4ක භාණ්ඩාගාර බිල්පත්වලට සහ රජයට දෙන ලද රුපියල් බිලියන 344.7ක කාලීන අත්තිකාරම්වලට සාපේක්ෂව එහි සාධාරණ අගය රුපියල් බිලියන 1946.7ක් වන නව භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ආදේශ කිරීම නිසා එක්දින පාඩුව (Day One Loss) රුපියල් බිලියන 766.4ක් බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය. ඊට අමතරව දේශීය මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතා තත්ත්වය වැඩිදියුණු කිරීම හේතුවෙන් ප්‍රතිවිකුණුම් ගිවිසුම් සහ නිත්‍ය ණය පහසුකම් මත මිල දී ගත් සුරැකුම්පත්වල රුපියල් බිලියන 364.1ක අඩු වීමක් සිදු වී ඇත.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්කම් අඩුවූවා සේම බැරකම් සංයුතිය ද වෙනස් වී තිබේ. ඒ අනුව වසර 2022දී රුපියල් බිලියන 4428.1ක් වූ බැරකම් වසර 2023දී රුපියල් බිලියන 4194.2ක් දක්වා රුපියල් බිලියන 233.9කින් අඩු වී ඇත. එය 2022 වසරට සාපේක්ෂව 2023දී සියයට 5.3ක අඩුවීමකි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT